තවුහිත් ජමාත් සාමාජිකයන් 100ටත් වඩා අත්අඩංගුවේ

Apr 29, 2019 09.04am
feature-top
සංවිධානයේ තොරතුරු 60%ක් හෙළිවේ
සමන්තුරේ නිවාස 4ක මරාගෙන මැරෙන පුහුණුව

පූජනීය ස්ථාන ඇතුළු හෝටල් කිහිපයක මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හරිමින් දෙස් විදෙස් අහිංසක මිනිස් ජීවිත 200කට වැඩි ප්‍රමාණයක් බිලිගත් තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 100කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගනිමින් ඔවුන්ගේ සංවිධානයේ සියලු තොරතුරු ‍හෙළිකරගනිමින් ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් විශේෂ කාර්ය බළකායත් ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුම්වලින් මේ වන විට එම සංවිධානයේ අභිරහස් කටයුතු සියයට හැටකින් පමණ හෙළිකර ගැනීමට හැකිවී තිබේ.

නැගෙනහිර පළාත සහ බස්නාහිරද තවත් ප්‍රදේශ ගණනාවකද සිදුකෙරෙමින් පැවැති එම අභිරහස් සංවිධාන කටයුතු හෙළිදරව් කර ගැනීමේදී මෙම සංවිධානය අම්පාර, සමන්තුරේ, කල්මුණේ, චවලකඩේ, වනාතවිල්ලුව යන ප්‍රදේශවල නිවාස ගණනාවක මෙම සංවිධාන කටයුතු කරගෙන ගොස් ඇති බව හෙළිදරව් වී ඇත.

ස්ථීර වශයෙන්ම සමන්තුරේ ප්‍රදේශයේ නිවාස හතරක පසුගිය බෝම්බ පිපිරවීම් සහ මරාගෙන මැරෙන සාමාජිකයන් පුහුණුකර ඇති බව සම්පූර්ණයෙන්ම හඳුනාගෙන ඇති අතර පෙරේදා ආරක්ෂක අංශ සෝදිසි කිරීම් සිදුකරද්දී ඔවුන් විසින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ලකරන අවස්ථාවේ සහ ඇතිවූ පිපිරීම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ මියගොස් තිබේ.

මරාගෙන මැරෙන සිරුරු 4ක්

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කරන අවස්ථාවේ පිපිරීම් සිදුවී ඇත. එහිදී මරාගෙන මැරෙන සැකකරුවන්ගේ යැයි සැකකරන මළසිරුරු හතරක් හඳුනාගෙන තිබේ.

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ප්‍රහාරයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සිවිල් වැසියෙක් මරුමුවට පත්වී තිබේ. තවත් තුන්දෙනෙකුට තුවාල සිදුවී ඇත. පසුගිය සෙනසුරාදා සමන්තුරේ ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලින් පැය 24ක් තුළ මෙම ත්‍රස්ත සංවිධානයේ සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබුණි.

මෙම සිද්ධීන් සමඟ කල්මුණේ, චවලකඩේ, සමන්තුරේ ප්‍රදේශවලට ඇඳිරිනීතිය පනවා තිබුණි. මේ අතර කල්මුණේ එදින සිදුවූ වෙඩි හුවමාරුව අතරතුර දරුණු පිපිරීම් තුනක් එම ත්‍රස්ත සාමාජිකයන් විසින් සිදුකර තිබූ අතර එම පිපිරීම්වලින් ආරක්ෂක අංශවලට කිසිදු හානියක් සිදු නොවීය.

‍සෝදිසි මෙහෙයුම් සිදුවන අතරතුරේදී ත්‍රස්තයන් විසින් සඟවාගෙන සිටි බෝම්බ ආරක්ෂක අංශවලට හමුවෙතැයි සැකයෙන් මෙසේ පුපුරුවාගෙන ඇත.

සියලු ආරක්ෂක අංශ මෙහිදී සෑම නිවසක්ම දැඩි පරීක්ෂාවකට ලක්කරමින් යන එක වාහන ඇතුළු සියලු දෑ සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරනු ලැබූ අතර මේ වන විටත් එම මෙහෙයුම් සිදුවෙමින් පවතී.

අම්පාරේ සමන්තුරේ සිදුකරන ලද මෙහෙයුමකදී ඩෙටනේටර් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ඇත. රාජ්‍ය බුද්ධි අංශයට ලද තොරතුරක් මත අම්පාර සමන්තුරේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන තිබුණි.

මේ අතර සී4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝවක් පමණ ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි එම ත්‍රස්ත සංවිධානයේ තුන්දෙනෙක් වැල්ලවත්ත දුම්රිය පොළ අසළදී පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

තවද ඊයේ දින තුළ දෙමටගොඩ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සිටි නිවසේ තිබී රුපියල් කෝටි තුනක් පමණ වටිනා නිල් මැණික් තුනක්, රුපියල් කෝටි එකහමාරක පමණ මුදල්ද තවත් රුපියල් කෝටි එකහමාරක පමණ රත්‍රන් ආභරණද සොයාගෙන ඇත.

සහරාන්ගේ රියැදුරාත් දැලේ

මේ අතර මරාගෙන මැරෙන සහරාන් හෂීම්ගේ රියදුරා රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම රියදුරාගෙන් එම ත්‍රස්තවාදීන්ගේ අභිරහස් කටයුතුවල තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකිවී ඇත.

තියුණු ආයුධ කිහිපයක්, ජංගම දුරකථන සහ බැටරි 38ක් සමඟ මීගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර කොම්පඤ්ඤවීදියේ පල්ලියකින් කඩු 49ක් සොයාගත් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රී නුර්දීන් මොහොමඩ් තාජුඩීන් ඇතුළු තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඇත.

මේ අතර අම්පාර නින්දවුර්හි නිවසකින් මරාගෙන මැරෙන ඇඳුමකට සවිකරන යකඩ බෝල සහිත තහඩුවක් සහ ඊට අදාළ උපකරණ සොයාගෙන තිබේ.

තවද වනාතවිල්ලුව ත්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරයැයි සැලකෙන ප්‍රදේශයේ තිබී ටී56 තුවක්කු දෙකක් උණ්ඩ විශාල ප්‍රමාණයක් සහ රිවෝල්වර හයක් අත්අඩංගුවට ගෙන ඇත.

මාර්ග බාධකයේ පොලිසියේ දෙදෙනා මරා දමා ඇත්තේ ජමාන් ත්‍රස්තවාදීන්

මීට මාස කිහිපයකට පෙර එනම් රණවිරු උත්සව සමයේදී වවුනතිව් ප්‍රදේශයේදී මාර්ග බාධක කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ගෙළ කපා යම්කිසි පිරිසක් විසින් ඔවුන්ගේ ගිනි අවි දෙක පැහැරගෙන ගොස් තිබුණි. එම කාලයේදී එම අපරාධය එල්.ටී.ටී.ඊ මහා විරු සැමරුම් කොඩි කපා දැමූ නිසා එම සංවිධානයේ යම්කිසි පිරිසක් විසින් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරන්නට ඇති බවට සැක කරනු ලැබුවද අද වන විට එම අපරාධය මෙම තව්හිත් ජමාත් ත්‍රස්තයන් විසින් සිදු කර ඇති බවට හෙළිදරව් වී ඇත.

ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන දැනට රහස් පොලිසිය මඟින් ප්‍රශ්න කරගෙන යන පිරිස අතර සිටින සැකකරුවන් තිදෙනෙකු එම පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමට සහභාගිවී ඇති බවට හෙළිදරව් වී ඇත.

එම පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එදින පැහැර ගන්නා ලද ටී 56 ගිනි අවි දෙකද මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් සිටි නිවසේ තිබී සොයාගෙන තිබේ. එම මරාගෙන මැරුණ ත්‍රස්තවාදීන් සියලුදෙනා එකතුවී ප්‍රහාරයට පෙර දිව්රුම් දී ඇත්තේද එම නිවසේ සිටය.

මේ අතර එම ගිනි අවි දෙකෙන් ඇමැති කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට වෙඩි තැබීමද සිදුකර ඇත.

ත්‍රස්තවාදී කටයුතුවලට වැඩි වශයෙන්ම යොදාගෙන තිබී ඇත්තේ සයින්ද මර්දු, නින්දවුර් යන ප්‍රදේශවල නිවෙස්ය. ආරක්ෂක අංශ මගින් එම සියලු නිවාස පසුගිය දින තුන සිදුකරන ලද මෙහෙයුම්වලින් සොයාගෙන ඇත.

මේ අතර කොළඹ හා සෙසු ප්‍රදේශවල එම මෙහෙයුම් කටයුතු සිදුවෙමින් පවතී. කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශය සහ යන එන මගීන් පරීක්ෂාව තවදුරටත් වැඩිකර ඇතත් ගුවන්තොටුපළ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි පවසන ගුවන්හමුදා ප්‍රකාශකවරයා ගුවන් තොටුපළට සියලු මගීන්ට පැමිණීමට යළි අවසර දී ඇති බවද පවසයි.

මේ අතර කුරුණෑගල බස් නැවැතුම්පොළේ සියලුදෙනා ඉවත්කර විශේෂ පරීක්ෂාවක්ද සිදුකර ඇත. රටපුරා සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදුවන අතර බණ්ඩාරගම, තිරප්පනේ, තෙල්දෙණිය, වත්තල, රක්වාන, මාතලේ, වවුනතිව්, මීගලෑව යන ප්‍රදේශවලින් සැකකටයුතු පුද්ගලයින් 16 දෙනෙක් අත්අඩංගුවට පත් පිරිස අතර වෙති. මෙම මෙහෙයුම් සඳහා මහජනතාවගේ මෙන්ම මුස්ලිම් ජාතික තව්හිත් ජමාත් විරෝධී සංවිධාන මඟින් ආරක්ෂක අංශවලට තොරතුරු රැසක් ලබාදී ඇති බව ආරක්ෂක අංශ පවසයි.

මේ අතර ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ මෙරට රාජ්‍ය බුද්ධි සේවය විසින් අනතුරු අගවන ලද අන්තවාදීන් කිහිප දෙනෙකු දැනට අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිටින බව සිටින බවද එම නිලධාරියා සඳහන් කළේය. ඔත්තු සේවා විසින් කළ අනතුරු ඇගයීමේ සඳහන් අන්තවාදීන්ගෙන් මරාගෙන මැරුණු අන්තවාදීන් අතර සිටියේ එක් අයෙක් පමණක් බවත් ඔහු සහරාන් පමණක් බවත් එම නිලධාරියා පැවැසීය.

එම අනතුරු ඇගයීමේ නම් සඳහන් මෙහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් , මෙහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන මාවනැල්ලේ සහෝදරයන් දෙදෙනා ඊයේ (28) අලුයම ගම්පොල නුවරඑළිය පාරේ පිහිටි පාවහන් වෙළද සලක් පිහිටි ගොඩනැගිල්ලක සැඟවී සිටියදී ගම්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. ඉකුත් 26 වැනිදා සාදික් නමැත්තා සිය බිරිය සහ සිවු හැවිරිදි දරුවා මාවනැල්ලෙන් අතහැර සිය සහෝදරයා සමඟ ගම්පොලට ගොස් සැඟවී සිට ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය විය. ෆාතිමා කාදියා නමැති ඇයව එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේය. සාදික් නමැත්තා ගම්පොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක් ලෙස කලක් සේවයේ නිරතව සිටියෙක් බවය. මනෝ විද්‍යාව සහ විනය භාරව කටයුතු කර ඇත්තේ ඔහු බවද අනාවරණය වී තිබේ. මේ සහෝදරයන් දෙදෙනාද සූදානමින් සිට ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම්ය. ඔහුගේ මිතුරෙක් වන නාවලපිටියේ පදිංචිකරුවෙක් වන ඉෆාන් නමැති අයෙක්ද මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් සිට ඇතැයිද හෙළිවී ඇත. ඔහුවද නාවලපිටියේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉර්ෆාන්ද ගුරුවරයෙක් ලෙස පාසලේම සේවයේ නිරතව සිටි අයෙකි. දඹුල්ල පොලිසිය පසුගිය 21 වැනිදා රාත්‍රියේදී ලැගුම්හලකට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් දෙදෙනාද මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් සිටි දෙදෙනෙක් බවද අනාවරණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

සහෝදරයන් දෙදෙනාත් සාදික්ගේ බිරියත් නාවලපිටියේ දී අත්අඩංගුවට ගත් සැකකරුත් දඹුල්ලේ දි අත්අඩංගුවට ගත් දෙදෙනාත් සැඟවී සිට ඇත්තේ වත්තල එඩේරමුල්ලේ කුළි නිවසක බවය. මාසිකව රුපියල් 60000 ක කුළීපදනමකට ලබාගත් එම නිවසේ හිමිකරු බව සැලකෙන්නේ ඇමතිවරුයකුගේ සහෝදරියකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් හෙළිවී ඇත්තේ සහරාන්ද විටෙන් විට එම නිවසට පැමිණ ගොස් ඇති බවය. එකවර මරාගෙන මැරෙන ප්‍රහාර 20 ක් එල්ලකිරීමට සහරාන් සැළසුම්කර ඇති බවත් ඊට මාවනැල්ලේ සහෝදරයන් දෙදෙනා විරෝධය දැක්මත් ඔවුන් මරාගෙන මැරීමට අකමැත්ත ප්‍රකාශ කිරීමත් හේතුවෙන් කණ්ඩායම දෙකට කැඩී තිබෙන බවද විමර්ශන වලින් මේ වන විට හෙළිවී තිබේ. ප්‍රහාර 20 කට සූදානම්ව ඔවුන් බොම්බ ඇටවීමට කරේ එල්ලාගෙන යන බෑග් මිලදී ගෙන තිබෙන බවත් ඒ ඉතිරි බෑග්ද මේ වන විට සොයාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. සහරාන් මරගෙන මැරෙන ප්‍රහාරයකට මුලින් සූදානම්ව සිට නැති අතර කණ්ඩායමේ විරසකභාවය හට ගත් බැවින් ඔහුට මරගෙන මැරෙන්නට සිදුව ඇතැයිද පරීක්ෂණ වලින් පෙනී ගොස් තිබේ.

21 වෙනිදා ප්‍රහාරයෙන් පසු ගනේමුල්ලේ නිවස අතහැර යන ඔවුන්ගෙන් දෙදෙනෙක් කොළඹ සිට මඩකළපුව බලා යන බස් රථයක නැගී ගමන්කර ඇති අතර දඹුල්ලේදි හසුවන්නේ ඔවුන්වය. ඉර්ෆාත් උලපනේ සිටය නිවසට ගොස් සිට ඇති අතර සහෝදරයන් දෙදෙනාත් සාදික්ගේ බිරියත් දින කිහිපයක් නුවරඑළියේ රැදී සිට ඇතැයි හෙළිවී තිබේ.

ඊට අමතරව බුද්ධි අංශ අනතුරු ඇගයීමේ නම් සදහන් මොහොමඩ් මිල්හාන්, මොහොමඩ් මොහිදින් හෙවත් ආමි මොහිදීන් යන අන්තවාදීන්ද මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

එම අන්තවාදීන්ගේ ජාලය මේ වන විට බිද දමා අවසන් බවත් ඔවුන්ට නැවත ප්‍රහාරයකට ඉඩ නැති බවත් උසස් පොලිස් නිලධාරියා විශ්වාසයෙන් සදහන් කළේය.

මෙම අන්තවාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අය මෙන්ම ප්‍රහාරයන්ට සහාය දුන් පුද්ගලයන් හඳුනා ගනිමින් මේ වන විට ඔවුන්වද කොටුකර ගනිමින් සිටින බව එම නිලධාරියා පැවැසීය.

මෙම අන්තවාදීන්ට දේශපාලන සම්බන්ධකම් නැතැයි තමා සදහන් නොකරන මුත් දේශපාලනඥයන් ඒ ගැන දැනුවත්ව සිටියේදැයි ඉදිරියේදී යම් සොයා බැලීමක් කළයුතුව ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.

අන්තවාදීන්ට නැවත හිස ඔසවන්නට නොහැකිවන ලෙස ඔවුන්ගේ කොදු නාරටිය බිද දමන තුරු මේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන බව එම නිලධරියා වැඩිදුරටත් පැවැසීය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »