ත්‍රිවිධ හමුදා - පොලිසියෙන් ආරක්ෂක මෙහෙයුම් නොකඩවාම

Apr 29, 2019 09.02am
feature-top
ජන ජීවිත ගොඩනගන සේවා බාධාවකින් ‍තොරවම
ප්‍රවාහන ඉන්ධන සේවා නොඅඩුවම

අප්‍රේල් මස 21 වැනි දින සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂක මෙහෙයුම් මේ වනවිට නොකඩවා සිදුකෙරෙන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

එසේම මෙම තත්ත්වය තුළ සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඇත. මෙම තත්ත්වය තුළ වෙළෙඳ පොළ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතා පවසයි.මෙහිදී ප්‍රවාහන කටයුතු විධිමත්ව පවත්වා ගැනීම සඳහා ද කටයුතු යොදා තිබේ.

රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙකුත් දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (තාක්ෂණික) ටී. එල්. වික්‍රමරත්න මහතා පැවැසීය. මෙහිදී දුම්රිය මගී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර දුම්රිය අංගණවලින් පිටත් වන දුම්රිය කට්ටල පරීක්ෂාවකට ලක් කෙරේ. එසේම සැක කටයුතු පුද්ගලයින් සහ පාර්සල් පරීක්ෂා කිරීමේ කටයුතු දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් සිදුකරනු ලබන බව වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පවසයි.

සාමාන්‍ය දෛනික කාලසටහනට අනුව බස් රථ ධාවනය සඳහා සූදානම් කර ඇති නමුත් පවතින තත්ත්වය මත මගී අවශ්‍යතාවය හඳුනාගෙන බස් රථ ධාවනයේ යොදවන ලෙසට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රාදේශීය කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) පී. ආර්. ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරයි.

පවතින තත්ත්වය තුළ මඟින්, සේවක සංගම් හා ඩි‍පෝ කළමනාකාරිත්වය දැනුවත් කිරීම සඳහා විශේෂ චක්‍රලේඛ, උපදෙස් පත්‍රිකා, පෝස්ටර් දැනටමත් නිකුත් කර ඇති අතර පෞද්ගලික බස් රථ ද සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදෙන බවත් මගීන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා අවධාරණය කරයි.

තවද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදාහැරීම් කළමනාකරු ඩබ්ලිව්. එම්. ටී. ඩබ්ලිව්. ඒ. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. මෙහිදී දුර පළාත් සඳහා ඉන්ධන බෙදාහැරීම බාධාවකින් තොරව කල්වේලා ඇතිව සිදුකරනු ලබන අතර බවුසර් මඟින් සිදුකෙරෙන දෛනික බෙදාහැරීම් නිසිපරිදි සිදුකරන බව ඒ මහතා පැවැසීය. අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින අතර ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් කිරීම ද සිදුකර තිබේ.

එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු සේවාවන් ගැටලුවකින් තොරව පවත්වාගෙන යන බවත් පවතින තත්ත්වය තුළ ආරක්ෂාව තර කර තිබෙන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාන මහතා සඳහන් කළේය.

වර්තමාන තත්ත්වය තුළ ජනතාව විමසිලිමත්ව සිටිමින් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදෙමින් සාමකාමීව කටයුතු කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »