ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ දී පෙර ලෙසම සහාය දෙනවා

Apr 27, 2019 11.12am
feature-top
ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ තර්ජනයට එරෙහිව ගෙනයන අරගලයේ දී පෙර ලෙසම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සහකරුවකු වශයෙන් රුසියාව ඉදිරියටත් කටයුතු කරන බව රුසියා ජනාධිපති ව්ලදිමීර් පූටින් මහතා ප්‍රකාශ කරයි.

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශෝකය ප්‍රකාශ කරන රුසියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේ සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නගර කිහිපයක සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියා මාලාවේ ඛේදනීය ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අතිශය අවංක කනගාටුව පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ තර්ජනයට එරෙහිව ගෙනයන අරගලයේ දී පෙර ලෙසම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සහකරුවකු වශයෙන් රුසියාව ඉදිරියටත් කටයුතු කරන බව තහවුරු කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමි.

පාස්කු උත්සව සමයේ උත්කෘෂ්ඨතම අවස්ථාවේ දී සිදුකරන ලද මේ ක්‍රෑරතර සහ නරුම අපරාධය ක්‍රියාත්මක කළවුන් සහ එය ඇණවුම් කළවුන් ඊට හිමි දඬුවම් ලබනු ඇතැයි මම අපේක්ෂා කරමි.

මියගියවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ශෝකය ඔවුන් සමඟ බෙදාහදා ගන්නා අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ලැබෙනු ඇතැයි අප රටේ ජනතාව ප්‍රාර්ථනා කරයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »