අන්තවාදී ප්‍රහාර වළක්වන්න කෙටි-දිගු කාලීන ක්‍රියාමාර්ග

Apr 27, 2019 11.10am
feature-top
* සමස්ත මුස්ලිම් ජනතාව දෙස අන්තවාදීන් ලෙස බලන්න එපා
* මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට බාධා කිරීමක් දැයි සැකයක්
* ජමාත් සංවිධානය තහනම් කරන පනතක් කඩිනමින් මැතිසබයට
* ජනතාව සන්සුන් කරන රට‍ ගොඩනඟන වගකීම මාධ්‍යයටයි

ජාත්‍යන්තර ත්‍රස්තවාදය හා බැඳුණු පසුගිය පාස්කු ඉරිදා සිදු වූ අන්තවාදී ප්‍රහාරයන් යළි සිදු නොවන ලෙසකට කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි ද පළපුරුදු ඉහළ පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් යන්ත්‍රණයක් මඟින් ආරක්ෂක විධිවිධාන සැලසුම් කරන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) ජනාධිපති නිල මැඳුරේ පැවැති මුද්‍රිත විද්යුත් මාධ්‍ය ප්‍රධානීන්, පුවත්පත් කතුවරුන් සමඟ පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

පසුගිය ඉරිදා සිදු වූ ප්‍රහාරයන් හේතුවෙන් රට තුළ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය ඉදිරි ආරක්ෂක පියවරයන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට යුද හමුදාපති මහේෂ් සේනානායක, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර බුද්ධි අංශ අධ්‍යක්ෂ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරු ‍එක්ව සිටියහ.

මෙහි දී බුද්ධි අංශ අධ්‍යක්ෂ ප්‍රියන්ත ජයවර්ධන මහතා සකස් කළ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන ව්‍යාප්තිය සහ විවිධ නිකායන් ඉස්ලාම් අන්තවාදී සංවිධාන සහ එහි ව්‍යාප්තිය සහ අයිඑස් සංවිධානය පිළිබඳ ප්‍රදර්ශනාත්මක දැනුවත් කිරීමක් යුද හමුදාපතිවරයා විසින් ඉදිරිපත් කළේය.

ත්‍රස්ත මර්දන රෙගුලාසි හදිසි නීතියට ඇතුළත් කිරීම හේතුවෙන් අඛණ්ඩ මෙහෙයුම්, වැටලීම් මෙන්ම ගෙයක් ගෙයක් පාසා නිරීක්ෂණයන්ට යොමුවීමට පොලිසිය ත්‍රිවිධ ආරක්ෂක අංශ සැලසුම් කර ඇති බවත් ග්‍රාම නිලධාරීන් වෙත ආකෘති පත්‍ර නිකුත් කරමින් නිවැසියන් පිළිබඳ අධ්‍යයනයක යෙදෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දැනට තිබෙන නීති රීති අනුව මේ ජමාත් අන්තවාදී සංවිධානය තහනම් කළ නොහැකි බවත් ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දුන් ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් එවැනි සංවිධාන තහනම් කෙරෙන පනත් ගෙනවිත් ඇති බවත් ශ්‍රී ලංකාවේද එවැන්නක් සඳහා නීතිපතිවරයා දැනුවත් කිරීමට දක්ෂ නීතිඥවරුන් රැසකගේ සහාය දැනට ලබාගෙන ඇති අතර, එම අධ්‍යයනයන්ගෙන් පසු හැකි ඉක්මණින්ම එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

විශේෂයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සමස්ත මුස්ලිම් ජනතාව දෙස ත්‍රස්තවාදීන් ලෙස බලන්න එපා කියලා. මා කැඳවූ සර්ව පාක්ෂික හමුවේදී තරුණ මුස්ලිම් පූජකතුමකු හඬා වැටෙමින් තමන් අද මුහුණ දී ඇති තත්ත්වය අපට කියා සිටියා. එතුමාගේ හැඬීම අපට නවත්වන්න බැරි වුණා. ඒ අනුව අපි පැහැදිලිවම අපේ රටේ ජීවත්වන සහෝදර මුස්ලිම් ජනතාව රැකගත යුතු වෙනවා. අපේ රටේ ජාතික සමඟියේ සංහිඳියාවේ අගය ලොවටම ප්‍රදර්ශනය කළ යුතුයි. සුළු පිරිසකගේ මේ අතිමහත් භයානක ඛේදවාචකය අපි පැහැදිලිවම හෙළා දකිනවා යැයි ජනපතිවරයා පැවැසීය.

ජාතිවාදය හා ත්‍රස්තවාදය කියන්නේ දෙකක්. අපිට ත්‍රස්තවාදය හොඳට හුරුයි. ජාත්‍යන්තර ත්‍රස්තවාදය අපි අහලා තිබුණේ මාධ්‍ය හරහා. විශේෂයෙන් අයි එස් සංවිධානයේ අරමුණ රටවලට පහරදීලා දේශපාලන අස්ථාවරත්වයක් බිහි කිරීම. විශේෂයෙන්ම පහර දෙන්නේ බටහිර දේශපාලන චින්තනයන්ට ආගම් දර්ශනයන්ට. ඔවුන් කියා තිබෙනවා වතිකානයේ සිය ධජය එසැවූ දිනය සැබෑ ජයග්‍රහණය වන බව. ඒ අනුව කිතුනු දේවස්ථාන එක ඉලක්කයක් විය හැකියි යනුවෙන් තව දුරටත් පවසා සිටියේය.

ලෝක ත්‍රස්තවාදය සමඟ බැඳී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට තමන් ගෙන ගිය වැඩපිළිවෙළ අනුමත කරමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් මත්ද්‍රව්‍ය මර්දනයට සහාය වෙමින් පාරට බැහැලා හාරදහසක් සමඟ මෝදරට ඇවිත් මාවත් එයට කැඳවූවා. උන්වහන්සේගේ මේ මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයට දැඩි ලෙස ඇතුළු වූවා. එයත් මේ ප්‍රහාරයන්ට හේතු වූවාද සැකයක් මතු වෙනවා. ඒ අනුව අයි එස් අරමුණු, පසුබිම, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අප ප්‍රඥාවෙන් බුද්ධියෙන් බලන්න ඕනෑ. පපුවෙන් බලන්නේ නැතිව. අවස්ථාවාදී දේශපාලනයෙන් බලන්නේ නැතිව. මේ බලවේගය පරාජය කළ යුතු වෙනවා යැයි ජනපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මාධ්‍ය හමුවට එක් වූ මෙන්ම එක් නොවූ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් තමන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ තම මාධ්‍ය හසුරුවමින් ජනතාව සන්සුන් කිරීමේ ජනතාවගේ බිය සැකය දුරු කිරීමේ විපත් හමුවේ ජනතාවගේ සංවේදීත්වය ඒ වේදනාව සමනය කිරීම හමුවේ දේශපාලකයන්ට වඩා මාධ්‍ය සතු බලය වගකීම භාර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත්, ලොව පුරා රටවල ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ විට නිදහස් මාධ්‍ය හරහා එම වගකීම් ඉටු කළ අයුරු තමන් දැක තිබෙන බවත් පවසා සිටියේය.

ඉතා ශක්තිමත්ව ආරක්ෂක මෙහෙයුම් මේ වන විට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉතා ඉක්මණින් මේ තත්ත්වය නිරාකරණය කර සාමකාමී ජන ජීවිත යළි ගොඩනැංවීමේ කාර්යභාරය ඉටු‍ කෙරෙනු ඇතැයි තම විශ්වාසය බව ද කියා සිටියේය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »