රුහුණ ගැන කතා කරන එදා හිටපු නායකයන් රුහුණ සංවර්ධනය කළේ නෑ

Apr 02, 2019 12.45pm
feature-top
රුහුණ පිළිබඳව කතාකරන්න බොහෝ රුහුණු පුත්‍රයන් සිටියද රුහුණ සංවර්ධනය කිරීමට කිසිදු පුද්ගලයකු ඉදිරිපත් වූයේ නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ නිසා නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වී රුහුණ ආර්ථික මෙන්ම ජාත්‍යන්තර වෙ‌ෙළඳාමේ කේන්ද්‍රස්ථානය බවට පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා (30) හම්බන්තොට යොවුන්පුරය භූමියට යාබද භූමියේ රුපියල් ලක්ෂ 3500ක වියදමින් ඉදිකිරීමට යෝජිත අංගසම්පූර්ණ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් වන සෑම දිස්ත්‍රික්කයටම එක් ක්‍රීඩාංගණයක් බැගින් ඉදිකිරීමේ වැඩසටහනට අනුව ඉදිවේ.

මීටර් 400 අංගසම්පූර්ණ ධාවන පථයකින් සහ අංගසම්පූර්ණ පිහිණුම් තටාකයකින් සමන්විත මෙම ක්‍රීඩා සංකීර්ණය තුළ පළාත් තරුණ සේවා සභා කාර්යාලයද ඉදිකිරීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

අපිට 2019 යොවුන්පුරය වැඩසටහන නිසියාකාරව කරන්න පුළුවන් වුණේ සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමාගේ කැපවීම නිසයි. එතුමා මෙම වැඩසටහන කරට අරගෙන කළා. 2019 යොවුන්පුරය සාර්ථක යොවුන්පුරයක් හැටියට මම පිළිගන්නවා. එතුමා මෙම ප්‍රදේශය දියුණු කරන්න විශාල වැඩකටයුතු කොටසක් කරනවා. එතුමා මගෙන් සහ කැබිනට් මණ්ඩලයේ කරන ඉල්ලීම්වලින් පැහැදිලියි. අනාගතයේදී මෙම ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇතිවෙනවා. ඒ ඇතිවන දියුණුව ගම්මට්ටමේ දියුණුවක්.

අපි ජාතික මට්ටමේ දියුණුවක් හම්බන්තොට ක්‍රියාත්මක කරමින් සිටිනවා. එයින් කොටසක් තමයි පසුගිය සතියේ හම්බන්තොට, මිරිජ්ජවෙල අපනයන සැකසුම් කලාපයේ තෙල්පිරිපහදුවත්, සිමෙන්ති කර්මාන්ත ශාලාවත් විවෘත කළේ. තව විශාල කර්මාන්තශාලා හම්බන්තොට ඉදිවෙනවා. හම්බන්තොට ජාත්‍යන්තරය වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. රුහුණ ශ්‍රී ලංකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. මම හිතන්නේ රජරට යුගයෙන් පසු එවැනි දියුණුවක් දකුණු පළාතේ ඇතිවී නෑ.

නමුත් රුහුණ ගැන කතාකරන්න බොහෝ රුහුණු පුත්‍රයන් ඉන්නවා නමුත් රුහුණ සංවර්ධනය කරන්න කවුරුත් නෑ. ඒක තමයි අපේ සජිත් ප්‍රේමදාස මහතා වැනි ඇමැතිවරුන් මෙම වගකීම් භාරගෙන තිබෙන්නේ. මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ගමන් යොවුන්පුරයත් පවත්වන්න.

අද මුල්ගල තබන හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ගණයේ ක්‍රීඩාංගණයක්. මෙතන ඉදිවන ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් පුළුවන් හම්බන්තොට තරුණ, තරුණියන්ට තමන්ගේ දක්ෂතා ලෝකයට පෙන්වන්න. මෙවැනි ක්‍රීඩාංගණ නැතිනම් ක්‍රීඩාව දියුණු වෙන්නේ නෑ. එක් පැත්තකින් හම්බන්තොට ජාත්‍යන්තර ආර්ථිකයක් හැදෙනවා වගේම හම්බන්තොට තරුණ, තරුණියන්ටත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් අවශ්‍යයි. ඒ නිසා හම්බන්තොට සියලු තරුණ, තරුණියන්ට මෙම ක්‍රීඩාංගණ මගින් දක්ෂතා පෙන්වන්න අවස්ථාව ලැබෙනවා.

හම්බන්තොට වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ මෙවැනි තවත් ක්‍රීඩාංගණයක් ඉදිවෙනවා. මේ ක්‍රීඩාංගණයට සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා තවත් එක් කාරණයක් ඇතුළු කළා. ඒ තමයි දිස්ත්‍රික් තරුණ මධ්‍යස්ථානය. ඒකත් තරුණ සේවා සභාවෙන් අපි ලබාදෙනවා කියා කියන්න කැමතියි.

එක එක වර්ගයේ ක්‍රීඩා මෙම ප්‍රදේශයේ උගන්වන්න වෙනවා මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමත් සමඟ මම එක ක්‍රීඩාවක් විතරක් උගන්වන්න එපා කියා කියන්න කැමතියි. ඒ තමයි මේ පැත්තේ තිබෙන පුරුද්දක් මිරිස්කුඩු ගහන එක. මිරිස්කුඩු ගහන ක්‍රීඩාව හැර අනිත් සියලු ක්‍රීඩා උගන්වන්න කියා මම කියනවා.

මම විපක්ෂයෙන් අහන්නේ අපි කරන සංවර්ධනය මීට කලින් කළේ නැත්තේ කියලයි. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ආවට පස්සේ තමයි මෙම ප්‍රදේශයේ දියුණුවක් ඇතිවුණේ. විපක්ෂය එදා සූරියවැව අලි රංචුව එලවා ගැහුවා ජාත්‍යන්තරය ක්‍රිකට් ක්‍රීඩාංගණයක්. එතන ක්‍රිකට් ක්‍රීඩාවක් ගහන්න යන මුදල දිහෑ බැලුවොත් ඊට වඩා ලාබයි ලන්ඩන්වල ලෝඩ්ස් පිට්ටනියේ ක්‍රීඩා කරන එක. දැන් ක්‍රිකට් තරගත් ඒ පිට්ටනියේ පවත්වන්නේ නෑ. ඉදහිට එකක් දෙකක් තිබෙනවා. ගමේ කට්ටියට ඒ ක්‍රීඩාංගණ පාවිච්චි කරන්නත් බෑ. සූරියවැව ඇත් රංචුව අඬනවා අපේ නිජබිම නැතිවුණා කියලා. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයට වියදම් කළ සම්පූර්ණ මුදල ගත්තොත් එයින් පුළුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැම එකේම ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන්න. එහෙම කළේ නැත්තේ තරුණ, තරුණියන් ක්‍රීඩාවෙන් ඉදිරියට යයි කියලා බයටද ?

හම්බන්තොට මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවට වියදම් කරල තිබෙන මුදල. ඔය සල්ලිවලින් භාගයක් ගත්තානම් මහරගම ජාතික තරුණ සේවා සභාව වැනි ජාතික මට්ටමේ එකක් හම්බන්තොට හදන්න තිබුණා. ඒ මුදල්වලින් මේ වගේ ඵලදායී වැඩසටහන් කළේ නැත්තේ ඇයි කියා අපිට අහන්න තිබෙනවා. ඇයි ගමට වාසිවන විදිගේ වැඩසටහන් කළේ නැත්තේ කියා අපිට විපක්ෂයෙන් අහන්න තිබෙනවා. එම සම්මන්ත්‍රණ ශාලාවේ තරුණ තරුණියන්ගේ කලා කටයුතු දියුණු කිරීමට ශාලා දෙකක් ඉදිකළා නම් සංචාරකයන් මෙම ප්‍රදේශයට එන විට එම ශාලාවල පෙන්වන්න තිබුණා. නමුත් ඒවා කරලා නෑ. එම සම්මන්ත්‍රණ ශාලාව දවසක් ඇරියොත් ලක්ෂ 10ක් ගෙවන්න තිබෙනවා. නැතිව බෑ. ඒවගේ නාස්තිය වැඩියි.

රජයක් ලෙස අපගේ ප්‍රතිපත්තිය ගමට ගිහින් ගම දියුණු කිරීමයි. පළාත් සභා සහ පළාත් පාලන ආයතන විපක්ෂයෙන් පාලනය වුණත් රටේ කිසිදු පළාත් පාලන ආයතනයකට අපි මේ වන තෙක් මුදල් නොදි ඉදලා නෑ. අපි සෑම පළාත් පාලන ආයතනයකටම මුදල් දුන්නා. ගිය සතියේ බ්‍රහස්පතින්දා විරුද්ධ පක්ෂයේ අය මේ වසරේ ප්‍රාදේශීය සභාවලටයි පළාත් සභාවලටයි දෙන්න හිටපු මුදල් පාර්ලිමේන්තුවේ කපලා දැම්මා. දැන් අපිට රුපියලක්වත් පළාත් පාලන ආයතනවලට දෙන්න විදිහක් නෑ. අපි නෙමෙයි නැවැත්තුවේ විපක්ෂයේ අය. ඒ නිසා කිසිදු ප්‍රාදේශීය සභාවකට, පළාත් සභාවකට මුදල් බලාපොරොත්තු වෙන්න එපා කියා මම පළාත් පාලන ආයතනවල නායකයන්ට කියනවා. ඒ අය මුදල් එපා කියනවානම් අපි කොහොමද මුදල් දෙන්නේ.

විපක්ෂයේ අය කළ වැඩෙන් අප්‍රේල් මාසයේ 30 වැනිදා සිට සෑම ප්‍රාදේශීය සභාවකටම මුදල් නැතිවෙනවා. මහ ආණ්ඩුවෙන් සතයක් දෙන්නේ නැතිව ප්‍රාදේශීය සභා ගෙනයන්න බෑ.

අපි කිව්වේ නෑ මුදල් දෙන්න බැහැ කියලා. අපි මුදල් දෙන්න ඕනේ කියල ඡන්දය දුන්නා. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අපි මුදල් දුන්නා ඒ ගොල්ලෝ කැපුවා. මට එක වෙලාවකට හිතෙනවා ඒ අය තමන්ගේ නහය කපාගත්තා වගේ වැඩක් කළේ කියා.

අපිට පුළුවන් විදිහට ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් මේ ආයතනවලට මුදල් ලබාදෙන්නම්. අවශ්‍ය අයට මුදල් අපි දෙන්න ලැහැස්තියි. අනිත් අයට මට කරන්න දෙයක් නෑ. ආණ්ඩුකාරවරුන්ටත් සල්ලි නැතිවෙනවා. ඒ විපත කරගත්තේ ඒ අය අපි නෙමෙයි. මේක ජනතාවට කළ විශාල අපරාධයක්.

දිලීප් වෙදාඅරච්චි රාජ්‍ය ඇමැතිතුමා කිව්වා මෙතන ධීවර මධ්‍යස්ථානයක් බවට පත්විය යුතුයි කියා. ඒ වැඩකටයුත්ත අපි ඉදිරියේදී කරනවා. ඒ මගින් තංගල්ල වගේ හොඳ සංචාරක මධ්‍යස්ථානයක් වෙයි.

නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා,

යොවුන්පුරය වැඩසටහන නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයට විශාල සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය ඉදිවෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාටත් හම්බන්තොට ක්‍රීඩා සංකීර්ණයක් ලබාදීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා.

මෙම ක්‍රීඩාංගණයේ මීටර 400ක ධාවන පථයකින් යුත් අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් සහ ජාත්‍යන්තර මට්ටමේ පිහිණුම් තටාකයක් ඉදිවෙනවා. මෙම ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතියට ලක්ෂ 3500ක් වෙන්කර තිබෙනවා. මේ ක්‍රීඩාංගණය හරහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ, තරුණියන්ට දැවැන්ත ශක්තියක් ලැබෙනවා. හැකියා තිබෙන ගමේ දරුවන්ට ඉහලම තලයට යන්න, ලෝක ශූරයන් බවට පත්වෙන්න මෙම දැවැන්ත ආයෝජනය කර තිබෙනවා. අපේ බලාපොරොත්තු මාස 18 තුළ මෙම ක්‍රීඩාංගණය ඔබේ අයිතියට පත්කිරීමට.

මෙම ක්‍රීඩා සංකීර්ණයේ ජාත්‍යන්තර මට්ටමේ යොවුන් නිකේතනයක් ඉදිවෙනවා. යම් යම් අය අහනවා වත්මන් රජය මොනවද කළේ කියා. මෙම සංවර්ධන වැඩසටහන් තමයි අපි කරල තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්ත ආයෝජනයත් හම්බන්තොට, මිරිජ්ජවෙල අපනයන සැකසුම් කලාපයට ලබාදී තිබෙනවා. අපි කරන සංවර්ධන වැඩසටහන් විපක්ෂයේ අයට පේන්නේ නෑ.

අපනයන සැකසුම් කලාප මගින් රටේ තරුණ තරුණියන්ගේ රැකී රක්ෂා ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා. තරුණ තරුණියන් විදේශ රටවලට යනඑක වැළකෙනවා. මේ සෑම ව්‍යාපෘතියකින්ම හයිය ලබන්නේ ගොවියගේ, කම්කරුවගේ, ධීවරයගේ, සාමාන්‍ය ජනතාවගේ, රාජ්‍ය සේවකයගේ දුවා දරුවන්ට තමයි ලැබෙන්නේ.

මම සතුටින් දන්වනවා යොවුන්පුරය හම්බන්තොට පැවැත්වීම මගින් විශාල සංවර්ධනයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හරහා හම්බන්තොටට ලැබීම පිළිබඳව.

එවකට හිටපු රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා මෙම හම්බන්තොට වීරවිල බලප්‍රදේශයේ සිටින පාසල් දරුවන්ගේ මවුපියන් සහ ගුරුවරුන් පිහිණුම් තටාකයක් ලබාදෙන ලෙස. ඒ ඉල්ලීම කළ වෙලාවේ තාරුණ්‍ය පිළිබඳව මහා දැනුමක් ඇති එවකට නායකයගේ පුතා නාමල් රාජපක්ෂ කිව්වලු තිස්ස වැව පෙන්නලා පීනන්න අවශ්‍ය කට්ටියට තිස්ස වැවේ පීනන්න පුළුවන් කියා. මේක ඇත්ත කතාවක්. බොරුනම් දෙබරවැව විදුහලේ ගුරු දෙගුරු සමිතියෙන් අහන්න පුළුවන්. දැන් තිසාවැවේ පීනනවා වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියට සෑදූ පිහිණුම් තටාකයක ක්‍රීඩා කටයුතු කරන්න හම්බන්තොට තරුණ තරුණියන්ට පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා,

තරුණයා වෙනුවෙන් වැඩකරලා තරුණයාගේ ශක්තිය ගොඩැනැඟුවේ රනිල් වික්‍රමසිංහ මහතා එදා සිට අද දක්වා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති මගින්.

අද සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වෙලා හම්බන්තොට දිස්ත්‍රික්කයට ක්‍රීඩා සංකීර්ණයක් ලබාදී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් එක් දිස්ත්‍රික්කයකට එක ක්‍රීඩා සංකීර්ණයක් පමණක් ලබාදීමට නියමිත වුණත් සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම මත දකුණු පළාතටත් ක්‍රීඩාංගණ දෙකක් ලබාදෙන්න ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදුවත් ඒකේ ක්‍රීඩා තරග පැවැත්වූයේ නෑ. සජිත් ප්‍රේමදාස මහතා අද ඉදිකරන මෙම ක්‍රීඩාංගණය මගින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කළ හැකියි. එයයි දැක්මක් ඇති සංවර්ධන වැඩසටහන් කියන්නේ.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයෙන් පසු ඉදිවන විශාලතම ක්‍රීඩා සංකීර්ණය ඉදිවන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේයි. එය හම්බන්තොට තරුණ ඔබට විශාල ආඩම්බරයක්.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »