ඩිෆෙන්ඩරයේ ගැටුණු ස්ථානාධිපති මිය යයි

Mar 11, 2019 09.24am
feature-top
රියදුරු ගැන තොරතුරු සාක්කිවලින් හෙළිවන බව නි. පොලිස්පති කියයි

තම නිල යතුරු පැදිය ඩිෆෙන්ඩර් රථයක ගැටී එම අනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටියදී 09දා රාත්‍රී මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කළ ඩිෆෙන්ඩර් රථය පදවමින් සිට ඇත්තේ පොලිස් අධිකාරිවරයකුගේ පුතකු විසින් බවට සාක්ෂි මඟින් හෙළිවී ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන ඩිෆෙන්ඩරය පැදවු සැකකාර රියදුරු නවිඳු රත්නායක නමැති සැකකරු බවට සී.සී.ටී.වී දර්ශන සහ අනෙකුත් සාක්කිවලින් තහවුරු වී ඇති බවද ඒ මහතා පැවසීය.

අනතුර සිදු කළ ඩිෆෙන්ඩර් රථයේ චැසි අංක සහ එන්ජින් අංක පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති බවත් ඒ පිළිබඳවද පරික්ෂණ සිදුවෙමින් පවතින බවත් අනාවරණය විය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසූවේ ඊයේ (10) පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

පසුගිය 24 වැනි දින අලුයම 4.35ට පමණ බම්බලපිටිය පොලිස් වසමේ කොළඹ ගාල්ල මාර්ගයේ බුලස් හන්දියේදී කොල්ලුපිටිය දෙසට ධාවනය වු පොලිස් යතුරු පැදියේ වැල්ලවත්ත දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත්තේ 51 හැවිරිදි පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර නමැත්තෙකු වන අතර හෙතෙම බොරලැස්ගමුව ගංගාරාම පාර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති අතර ස්ථිර පදිංචිය හිගුරක්ගොඩ දොර දෙක ප්‍රදේශයයි.

අනතුර සිදුවීමත් සමඟ ඩිෆෙන්ඩර් රථය පලාගොස් ඇති අතර අනතුරෙන් පැය හයක් හතක් ඇතුළත සිදු කළ දීර්ඝ විමර්ශනයකදී ඩිෆෙන්ඩර් රථය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද අජිත් රෝහණ මහතා පැවසීය. එම අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට අමතරව පුද්ගලයන් පස් දෙනකුද ඒක් කාන්තාවක් ඇතුළු හත් දෙනකු ගමන් කරමින් සිට ඇති අතර ඒ සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට හැකිවි ඇත.

මරණයෙන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පවත්වා ඇති අතර රිය අනතුරක් වළක්වා නොගැනීම සහ අනතුර වාර්තා නොකිරීම සම්බන්ධයෙන් රියදුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවද පැවසීය. රථයේ ගමන් කළ අනෙකුත් අයවලුන් හට යම් කිසි අපරාධයක සාක්කි සැඟවීම අපරාධකරුවකුට රැකවරණ සැලසීම යන කරුණු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

රථය පැදවූ ප්‍රධාන සැකකරු රථය පදවමින් සමාජ ශාලා කිහිපයකට ගමන් කළ අයුරුත් ඒවායින් පිටත්ව යන අයුරුත් සහ අනතුර සිදුවන අවස්ථාවේ මෙන්ම අනතුරෙන් පසුවත් රථය පදවා ගෙන යන අයුරු වීඩියෝ දර්ශන තමන් සතුව ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

එමෙන්ම මේ අනතුර සිදුවූ අවස්ථාවේ වෙනත් අයෙකු විසින් ඩිෆෙන්ඩර් රථය පැදවූ බවට පලවන සාමාජ ජාල පුවත් සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඒවා අසත්‍ය පුවත් බවත් නමුත් ඒ සමාජ ජාලා අදහස් දැක්වූවන් මේ නඩු විභාගය සඳහා කැදවීමට අදාළ ෆේස් බුක් සමාජ ජාලාවල ඊමේල් අංක ඔස්සේ නොතීසි යැවීමට කටයුතු කරන අතර ඔවුන් මේ තොරතුරු දැන ගත්තේ කෙසේද ඒවා කවුරුන් විසින් පැවසූ ඒවාද යන්නත් පරික්ෂණ කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය. මෙවැනි සිදුවීම්වලට හේතුව බීමත්ව රිය පැදවීම බවත් බීමත්ව රිය පදවන්නන් පිළිබඳ ජනතාව තුළ මතවාදයක් ගොඩ නැගී ඔවුන්ට අහිංසක ජීවිත විනාශ කිරීමට ඉඩනොදීමට කටයුතු කළ යතු යැයිද හෙතෙම පැවසීය.

මිය ගිය පොලිස් නිලධාරියාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) සවස 4.00ට බොරැල්ල කනත්ත සුසාසන භූමියේ දී පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »