අපි ඔක්.26දා ගියානම් දැවැන්ත ව්‍යාපෘති රටට නෑ

Mar 05, 2019 10.37am
feature-top
මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බිංගිරියේදී ඊයේ(4) ආරම්භ විය. අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, අකිල විරාජ් කා‍රියවසම්, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපය- හිරන්ත ගුණතිලක

අසේල ලියනගේ

පසුගිය ඔක්තෝම්බර් 26 දා මහින්ද රාජපක්ෂ මහතා බලෙන් ආණ්ඩුව ලබා ගත් අවස්ථාවේ දී අපි දාලා ගියානම් මෙවැනි ආයෝජන කලාප මුල්ගලට පමණක් සිමා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පැරකුම් යුගයක් නැවත ආරම්භ කිරීමේ සංකේතය වන්නේ වත්මන් යහපාලන රජයෙන් ක්‍රියාත්මක කරන අපනයන සැකසුම් කලාප ඉදිකිරීමේ වැඩසටහන මගින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව කෘෂිකර්මාන්තය විනාශ කරන බවට මාධ්‍ය ඉදිරියේ කරන ප්‍රකාශ අසත්‍ය බවත් හයවන පරාක්‍රම බාහු රජතුමාගෙන් පසුව රට සහලෙන් ස්වයංපෝෂිත කළේ තමන් බවත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (4) බිංගිරිය ප්‍රදේශයේ අපනයන සැකසුම් කලාපය ඉඳි කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඩී.එස් සේනානායක මහතා සහ ජේ.ආර් ජයවර්ධන මහතා සමඟ එක්ව තමා රටේ කෘෂිකාර්මික විප්ලවයක් කළ බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම පසුගිය ඔක්තෝබර් මාසයේ බලහත්කාරයෙන් ආණ්ඩුව ලබාගත්තා නම් මෙවැනි ආයෝජන ප්‍රවර්ධන කලාප මුල්ගලට පමණක් සීමාවන බව වික්‍රමසිංහ මහතා පැවසීය.

2015වත්මන් රජය බලයට පැමිණෙන විට ආයෝජන කලාප 14න් අක්කර 600ක භූමි ප්‍රමාණයක් හිස්ව තිබූ බවත් වර්තමානය වනවිට එම හිස්ව තිබූ භූමි ප්‍රාමාණය සඳහා නව ආයෝජකයන් යොමුකර නැවත බිංගිරිය වැනි අපනයන සැකසුම් කලාප ඉදිකරමින් සිටින බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අක්කර 600ක ඉදිවන බිංගිරිය අපනයන සැකසුම් කලාපය මෙරට දැනට ඉදිවන විශාලම ආපනයන සැකසුම් කලාපය වූවත් ඉදිරියේ දී අක්කර 4000 අයෝජනය ප්‍රවර්ධන කලාපයක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ද, අක්කර 5000ක් හම්බන්තොට සහ අක්කර 10000ක කලාපයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ද ඉදිකරන බව අගමැතිවරයා සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුවෙන් ගත් ණය ගෙවීමට වත්මන් ආණ්ඩුවට සිදුවූ බවත්, ඒ නිසා ජනතාවට සිදුවූ ආර්ථික අපහසුතා පිළිබඳ තමා කනගාටු වන බවත් ණය උගුලෙන් ගැලවීමට රටේ සමස්ත ජනතාව කළ කැපවීම පිළිබඳ තමා ස්තූතිවන්ත වන බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, රංජිත් මද්දුමබණ්ඩාර, ජේ.සී අලවතුවල, නලීන් බන්ඩාර යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අංශයේ විශාල පිරිසක් එක්වූහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »