සයිබර් අපරාධ මඬින්න අලුත් පනත් දෙකක්

Mar 05, 2019 10.36am
feature-top
සයිබර් අපරාධ අවම කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායකත්වයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නව පනත් දෙකක් රටට හඳුන්වාදීමට රජය තීරණය කරයි.

සයිබර් ආරක්ෂණ පනත සහ තොරතුරු ආරක්ෂණ පනත නමින් නව පනත් දෙකක් ඉදිරි මාස තුනක කාලය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට අපේක්ෂා කරන බව සයිබර් අවකාශයේ පවතින තාක්ෂණ අභියෝග ජයගැනීම සහ සයිබර් ප්‍රහාරවලට පිළිතුරු ලබාදීම වෙනුවෙන් රජයට මැදිහත්වීම සහ අවශ්‍ය නීතිරීති යාවත්කාලීන කිරීම මෙමඟින් බලාපොරොත්තු වන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති නොමැති බව පෙන්වාදෙන ඒ මහතා මේ නව පනත් හරහා සයිබර් අවකාශයේ වැරැදිකරන්නන් සඳහා දඬුවම් ලබාදීම, සයිබර් අවකාශය සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වාගෙන යාම අපේක්ෂා කරන බවද දියුණු ආර්ථිකයක් සහිත රටවල් තොරතුරු තාක්ෂණය සමඟ සම්බන්ධ වී ඩිජිටල්කරණය වී තිබෙන බවද කියා සිටී.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බම්බලපිටියේ පිහිටි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී ඊයේ (4) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ අපේ ආර්ථිකය ඩිජිටල්කරණයට ලක්කිරීම සඳහා අවශ්‍ය යෝජනාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් ලබන සතිය පමණ වනවිට අපේ රටේ ආර්ථිකය ඩිජිටල්කරණය සම්බන්ධයෙන් වන යෝජනාවට අනුමැතිය හිමිවනු ඇති බවත්ය.

ආර්ථිකය ඩිජිටපල්කරණය කරන්න තාක්ෂණය පැත්තෙන් ආරක්ෂාව තහවුරු කිරීමටත් ඩිජිටල් තාක්ෂණයට අභියෝග කරන විවිධ පාර්ශ්වයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් මෙමඟින් බලාපොරොත්තු වන බව කී අජිත් පී.පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් වන කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් වී තිබෙන බවද විද්වත් පාර්ශ්වයක් මේ පිළිබඳ එම කෙටුම්පත්කරණය කරගෙන යන බවද පැවසීය.

තොරතුරු තාක්ෂණය හා සම්බන්ධව වාර්ෂිකව ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ අපනයන ආදායමක් ලබා ගන්නා බව පෙන්වාදුන් ඒ මහතා එය රටේ සිවුවැනි විශාලතම අපනයන ආදායම වී තිබෙන බවද ඊළඟ වසර දහය පමණ වනවිට එය රටේ වැඩිම අපනයන ආදායම බවට පත්කිරීම රජයේ අපේක්ෂාව වී තිබෙන බවද සඳහන් කළේය.

මේ අතර ඇමැතිවරයා සදහන් කළේ මේ නව පනත් සම්මත කිරීම හරහා පියවර රැසකින් ඉදිරියට යාමේ හැකියාව තිබෙන බවයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »