දියමන්තිය සොරකමේ මහ මොළකරු හඳුනා ගැනේ

Mar 04, 2019 10.46am
feature-top
මාකදුරේ මධුෂ්ගේ සැළසුමකට අනුව රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්ති ඇරැව්වලින් කොල්ලකෑමේ මෙරට මහ මොළකරු හඳුනා ගැනීමට පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත. කැළුම් ඉන්දික නැමැති ඔහු මොරටුවේ පදිංචි කරුවෙකි. බැංකු කොල්ලකෑම් ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක කොල්ලකෑම් රැසකට සම්බන්ධ ඔහු වසර දහයකට අධික කාලයක් බන්ධනාගාර ගතව සිටියෙකි. මාකදුරේ මධුෂ්ව ඔහු දැන හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාරයේදීය. මධුෂ් ඩුබායි සිට මෙහෙයවන ලද මෙරට අපරාධ රැසක් සම්බන්ධීකරණය කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත්තේද මේ පුද්ගලයා බවට තොරතුරු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබේ. කොල්ලකන ලද දියමන්තිය තවමත් ඔහු අත ඇතැයිද පොලිසිය සැකකරයි. එම දියමන්තිය මෑතකදී කපා ඔපමට්ටම් කිරීමට ඔහු උත්සහයක නිරතව ඇති බවත් ඒ ඔස්සේ කළ විමර්ශනයකදී ඔහු සම්බන්ධයෙන් සියළු තොරතුරු හෙළිවූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කැළුම් නැමැති එම සැකකරු මස් මාළු නොකන සුරාවෙන් සූදුවෙන් තොර අයෙකු බව පොලිසිය කියයි. පිටිගල ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකිරීම් කිහිපයක් පවා ඔහු කෝටියකට අධික මුදලක් වැයකරමින් කර ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත. එම විහාරස්ථානයේ පසුගිය වසරේ කඨින පිංකම පවා ඔහු මහත් ඉහළින් පවත්වා ඇතැයිද පොලිසිය කියයි.

මධුෂ්ගේ පියාගේ අවමගුල සූරියවැව පැවැත්වෙද්දී වයිෆයි තාක්ෂණයෙන් මළ ගෙදර කටයුතු සජීවීව ඩුබායි සිටි මධුෂ්ට දැක බලා ගන්නට ඉඩ සලස්වා ඇත්තේද කැළුම් නැමැති එම සැකකරුය. ඒ සඳහා ඔහු තාක්ෂණික ශිල්පියා ලෙස යොදාගෙන ඇත්තේ සිය සහෝදරයාගේ පුතාය. ජංගම දුරකතන සහ උපාංග අලෙවි ස්ථානයක් පවත්වාගෙන යන හේමාල් රංජන නැමැති 28 හැවිරිදි ඔහු කඩුවෙල වැලිහිද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහුව පසුගිය 01 වෙනිදා පෑලියගොඩදී දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. කසුන් සඳරුවන් නැමැති එම සැකකරුද කඩුවෙල රනාලේ පදිංචිකරුවෙකි. මාකදුරේ මධුෂ් ඩුබායි සිට අපරාධ සංවිධාන කරන විට ඒ සඳහා ගෝලබාලයන්ට ජංගම දුරකතන කැළුම් විසින් මිලදී ගෙන ඇත්තේ ඔහු මගිනි. සතියකට දෙකකට වරක් එසේ ජංගම දුරකතන පහක් හයක් සිය බාප්පා විසින් මිලදී ගන්නා බව ප්‍රශ්ණ කිරීම් හමුවේ හේමාල් නැමැති සැකකරු පවසා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

දියමන්ති කොල්ලයට ඕස්ට්‍රියා ජාතිකයා පැමිණ ඇත්තේ මීගමුවේ හෝටලයක සිටය. ඔහු ඇතුළු එම කොල්ලයට සම්බන්ධ වූවන්ව නිරීක්ෂණය කරන්නට නවතම පහසුකම් සහිත ජංගම දුරකතන කිහිපයක් පවා යොදා ගනිමින් තාක්ෂණය ඉහළින්ම යොදාගෙන තිබුණු බවද අනාවරණය වී තිබේ. එම තාක්ෂණික සහය ලබාදී ඇත්තේ හේමාල් විසින් බව ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී තිබේ.

මධුෂ්ගේ සැළසුමකට අනුව පසුගිය වසරේදී දෙවුන්දරදී මොරිල් නැමැත්තාට අයත් මත්කුඩු කිලෝ 128 ක් පොලිස් වෙසින් කොල්ලකා ඇත්තේද කැළුම් සහ හේමාල් එක්ව කණ්ඩායමක් යොදාගෙන බවද අනාවරණය වී ඇත. ඒ සඳහා කුළියට ගත් ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී වාහනයක්ද යොදාගෙන තිබේ. කොල්ලකන ලද එම මත්කුඩු කිලෝ 128 එම රථයේ පටවාගෙන කොළඹට රැගෙන ආ බවත් පසුව තමන් ඇතුළු සෙසු පිරිස අතරමගින් බස්සවා මත්කුඩු තොගය රැගෙන සිය බාප්පා වන කැළුම් මොරටුව බලා ගිය බවත් හේමාල් පවසා ඇත.

දියමන්ති කොල්ලය සිදුවන විට කැළුම් සමග හේමාල් සිට ඇත්තේ පිළියන්දලය. දියමන්තිය කැළුම් අතට පත්කර ඇත්තේ පිළියන්දලදීය. එම දියමන්තිය පිළියන්දලට රැගෙන විත් ඇත්තේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත්ව මේ වන විට බන්ධනාගාරගතව සිටින මාතර මල්ලී නැමැත්තා විසිනි. මාතර මල්ලී එම දියමන්තිය කැළුම් අතට පත් කිරීමෙන් පසු ඔහුට මාතර බලා යන්නට කැළුම් විසින් ලබාදී ඇත්තේ රුපියල් 2000ක මුදලක් පමණක් බව හේමාල් පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ පවසා තිබේ. එදින එම දියමන්තිය රැගෙන යන්නට භාවිතා කරනු ලැබූ කැබ් රථයද වාහන කුළියට ලබාදෙන ස්ථානයකින් පොලිසිය සොයාගෙන ඇත. අත්අඩංගුවට ගෙන සිටින කසුන් නැමැත්තා එදින එම කැබ් රථය පදවා ඇතැයි පොලිසිය කියයි.

පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතාට පිළියන්දලදී වෙඩි තැබීමේ සැළසුමටද මාකදුරේ මධුෂ් සමග කැළුම් නැමැත්තා සම්බන්ධවී ඇතැයිද අනාවරණය වී තිබේ. රංගජීව මහතාට වෙඩි තැබූ වෙඩික්කරුව ඉන්දියාවට පැන්නීමට ඔහුව හලාවත සිට මන්නාරමට රහසිගතව රැගෙනගොස් බෝට්ටුවකට නංවා ඇත්තේද කැළුම් නැමැත්තා බවට තොරතුරු මේ වන විට පොලිසිය සතුව ඇත.

ඉතා රහසිගත ජීවිතයක් ගතකළ කැළුම් ඔහු පදිංචි මොරටුවේ නිවසට කිසිදු ගෝලයෙක් රැගෙන ගොස් නැති බවද සඳහන්ය. සෑම විටම නිවසට යන විට ගෝලයන් මගහරින බව පොලිසය කියයි. එම නිවස මේ වන විට පොලිසිය හඳුනාගෙන තිබේ. කැළුම් සිය බිරිද සමග මේ වන විට පළාගොස් සැගවී සිටින බව සඳහන්ය.

බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කැලණිය කොට්ඨාසභාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී උපාලි ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙසින් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, පොලිස් පරීක්ෂක කැළුම් සංගීත් බුද්ධි අංශයක් වන පොලිස් විශේෂ ඒකකයේ කැලණිය කොට්ඨාස ඒකකයේ පොලිස් සැරයන්වන සෝමසිරි, බණ්ඩාර, උදයකුමාර යන නිලධාරීහු මේ පරීක්ෂණ මෙහෙයවති.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »