අවිවාහකයන්ට සෙත: ගොවි සමුප ගම්මානවලට අනුමැතිය

Feb 16, 2019 09.27am
feature-top
මෙරට ලක්ෂ සංඛ්‍යාත අවිවාහක තරුණයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ගොවි සමුපකාර ගම්මාන’ වැඩසටහනට ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිවුණු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

‘ගොවි සමුපකාර ගම්මාන’ ඉදිකිරීමේ වැඩසටහන මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්වෙන යොවුන් පුර වැඩසටහනට සමගාමීව ආරම්භ කරන බව පැවැසූ ඇමැතිවරයා, උදා ගම්මාන වැඩසටහන යටතේ නිවාස ලබා දෙන්නේ විවාහක අනු පවුල්වලට බවත් නමුත් අවිවාහක තරුණයන් ඉලක්ක කරගෙන ‘ගොවි සමුපකාර ගම්මාන’ වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය.

උසස් අධ්‍යාපනය නොලැබීම හේතුවෙන් රජයේ රැකියාවක් කිරීමට නොහැකි, ආර්ථික අපහසුතාවෙන් පෙළෙන මෙරට තරුණයන් ලක්ෂ සංඛ්‍යාවක් ඉලක්ක කර ගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මේ යටතේ එක් තරුණයකු වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා පර්චස් 15ක ඉඩමක් සහ කෘෂිකර්මාන්තයේ නියැළීමට අක්කර කාලක (පර්චස් 40ක) ඉඩමක් නොමිලේ ලබා දෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස තම පියාණන්ගේ උදා ගම්මාන වැඩපිළිවෙළ ඒ අයුරින්ම ක්‍රියාවට නංවමින් මේ වැඩසටහන ආරම්භ කරන බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව නවීන කෘෂි ක්‍රමවේදවලට අනුව එම ලබාදෙන ඉඩමේ වගා කටයුතු කිරීමේ අවස්ථාව තරුණයන්ට හිමි වන බවත් ඇමැතිවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මේ අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අඟුණකොළපැලැස්ස, සූරියපොකුණ ප්‍රදේශයේ ඉදි වූ ‘සදාසෙත්ගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (15) සහභාගී වෙමිනි. ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවැරුණු 164 වැනි ආදර්ශ ගම්මානය මෙය වේ.

‘සදාසෙත්ගම’ උදා ගම්මානය නිවාස 51 කින් සමන්විත වන අතර, එය අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 460කි. මේ උදා ගම්මානය පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් සමන්විත වේ.

‘සදාසෙත්ගම’ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව නිවාසලාභීන් 51 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා උදා ගම්මානයේ ප්‍රතිලාභී පවුල් 51ට රුපියල් ලක්ෂ 510ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 51ක හිමිකම් නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 400කට රුපියල් ලක්ෂ 800ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ප්‍රදානය, ප්‍රතිලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 200ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ 52ක් වටිනා ‘විරුසුමිතුරු නිවාස ආධාර’, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 166 දෙනකුට නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය, ප්‍රතිලාභීන් සඳහා මහන මැෂින් සහ ස්වයං රැකියා ණය ප්‍රදානය කිරීම ද ඇමැතිවරයා අතින් මෙහි දී සිදු කෙරුණි. වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක් ද පැවැත්විණි.

මේ අවස්ථාවට ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් ද සහභාගී වූහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »