උතුරේ ජල ගැටලුවට කඩිනමින් විසඳුම් ඕනෑ

Feb 13, 2019 09.50am
feature-top
උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලූවට කඩිනම් විසැඳුම් ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කෙළේ උතුරු පළාත සඳහා යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රිත ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් ඊයේ (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

මෙහි දි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් මෙසේද පැවසීය.

කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වූ එම ප්‍රදේශවල ජනතාවට තම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස සම්පාදනය කළ හොත් උතුරේ සෙසු සංවර්ධන ගැටලූවලට ද ඒ සමඟම විසැඳුම් හිමිවෙනවා.

මේ අතර රත්නපුර, කෑගල්ල, කලූතර ප්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුනේ මහ මුහුදට ගලා බසින ජල කඳ නළ මඟින් උතුරට ගෙන යෑමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහි දී බලධාරින්ට පෙන්වා දුන්නේ ය. පාරිසරික විනාශයකින් තොරව ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය මඟින් කඩිනමි සහ සාර්ථක ප්‍රතිඵල උතුරේ ජනතාවට හිමි වනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කෙළේය.

උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ක්‍රියාත්මක සෙසු ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි.

යෝජිත උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය, නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 2020 දී ක්‍රියාත්මක කිරීමට යෝජිත ,යාපනයට ගඟක්, ව්‍යාපෘතිය පිළිබඳව මෙන්ම උතුරු හා උතුරු මැද පළාත ආශ්‍රිතව ජයිකා ආධාර යටතේ සිදු කෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අැමැති අජිත් මාන්නප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »