ඔප්පු දස ලක්ෂයේ වැඩසටහනින් ගොවිජනතාවට මෙතෙක් හිමි නොවූ අයිතිය ලැබෙනවා

Feb 02, 2019 10.06am
feature-top
වසර ගණනාවකට පසු ජාතික ආර්ථිකයට දායකත්වයක් සපයන ගොවි ජනතාවට මෙතෙක් හිමි නොවූ, හිමි විය යුතුව තිබූ අයිතියක් ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන මගින් ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

විජය රජ දවසේ සිට මෙරට ඉතිහාසයේ විශාලම විප්ලවයක් සිදුවූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ බවත් එම වැවු හරහා ආරම්භ කළ කෘෂිකර්මාන්තය සඳහා රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් ජනතාවට හිමි වූ බවත් ලියවිල්ලක් පමණක් තිබූ එම ඉඩම් සඳහා අද නීත්‍යානුකූල ඔප්පුවක් සෑම කෙනකුටම ලබාදීමට සූදානම් කර ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

රටේ ආර්ථිකයට මූලික අඩිතාලම සපයා දෙන ගොවි මහතුන් සියල්ලටම ඉඩමේ අයිතිය ලබාදෙන බවත් දිවයිනේ ලක්ෂ 10ක පිරිසකට ඉදිරියේ දී ඉඩමක අයිතිය නීත්‍යානුකූලව හිමිවනවා සේම සෑම කෙනකුටම නිවෙසක, ඉඩමක, බැංකු ගිණුමක, කුඩා ව්‍යාපාරයක අයිතියක් අමෙරිකාවේ මෙන් ලබාදීමට වත්මන් රජය බලාපොරොත්තු වන බව අගමැතිවරයා වැඩි දුරටත් පැවැසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ ඊයේ (01) නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවැති ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනේ නිකවැරටිය ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.

එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් කිරිවානාගාර කනිෂ්ඨ විද්‍යාලයේ, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ, ගොන්නව කනිෂ්ඨ විද්‍යාලයේ ඉඩම් ඔප්පු පාසල්වල විදුහල්පතිවරුන්ට ලබාදුන්නේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »