වතු වැටුප් ගැටලුව අගමැති සාකච්ඡාවක් අද

Feb 01, 2019 09.09am
feature-top
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ගැටලුව පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ප්‍රගතශීලි සන්ධානයේ මැති ඇම­ැතිවරුන් අතර සාකච්ඡාවක් අද (1) අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

වතු කම්කරුවන්ට අහිමි කළ රුපියල් 140ක දීමනාව නැවත ඔවුන්ට ලබානොදුන්නොත් සහ වතුකම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වර්ධනය නොකළොත් තමා ප්‍රමුඛ දෙමළ ප්‍රගතශීලි සංධානයේ ඇමැතිවරු අමාත්‍යදූරවලින් ඉවත්වන බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසා ඇත. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකරන මුවාවෙන් වඩිවෙල් සුරේෂ්, තොන්ඩමන් යන ජනතා නියෝජිතයන් පසුගිය දා අත්සන කළ ගිවිසුමෙන් වතුකම්කරුවන්ගේ රුපියල් 140ක දීමනාව කප්පාදු කර ඇති බවත්, එය වතුකම්කරුවන්ට කළ විශාල අසාධාරණයක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය පලනි දිගම්බරම් මහතා මේ බව පැවසුවේ පෙරේදා (30) අමාත්‍යශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී මෙසේද පැවසීය.

වසර ගණනාවක සිට පවතින ප්‍රශ්නයක් වන වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිනොකිරීම පිළිබඳ අප දෙමළ ප්‍රගතශීලි සන්ධානය ලෙස කණගාටු වෙනවා. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ පසුගිය දිනවල හාම්පුතුන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් තිබුණා. එහිදී ආරුමුගම් තොන්ඩමන්, වඩිවෙල් සුරේශ් වතුකම්කරුවන්ව පාවා දුන්නා.

වතුකම්කරුවන්ට මෙතෙක් වැටුප් ලෙස ලැබුණේ මූලික වැටුප රුපියල් 500යි. මාසයකට දවස් 21ක් වැඩකළොත් රුපියල් 60යි. බලදායිත්ව දීමනා කියලා රුපියල් 140යි. මේ ඔක්කොම එකතු වුණාම දවසට රුපියල් 700යි හිමිවෙන්නේ.

දැන් වඩිවෙල් සුරේෂ්ලා, තොන්ඩමන්ලා ගිවිසුමක් ගහලා මූලික වැටුප රුපියල් 700යි. නමුත් බලදායිත්ව දීමනා රුපියල් 140 නැති කරලා. දීමනාවක් නැති කිරීම බරපතළ කප්පාදුවක්. වතු කම්කරුවන් රවට්ටලා තිබෙන්නේ. අපි අගමැතිවරයා සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළා. අපි ඉල්ලන්නේ අඩුම වශයෙන් රුපියල් 700ට අමතරව අඩුම වශයෙන් රුපියල් 140 දීමනාව දෙන්න කියායි. ඒක හරි දුන්නේ නැත්තනම් අපි පෙබරවාරි (1) සිට ආණ්ඩුවේ ඉන්නවද, නැද්ද කියා තීරණයක් ගන්නවා.

මෙම අසාධාරණයට විසඳුමක් ලැබුණේ නැතිනම් අපි අපේ ජනතාව සමඟ හැටන් නගරයේ සත්‍යග්‍රහයක් පවත්වනවා. පාර්ලිමේන්තුවේ වතු කම්කරුවන්ගේ ඡන්දෙන් ආපු ආය කියනවා මෙම වැටුප් ලබා නොදුන්නොත් මන්ත්‍රීදුරවලින් ඉවත් වෙනවා කියලා. වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා වතු කම්කරුවන්ගේ ගැටලු සොයා බලනවා වෙනුවට දෙපැත්තට පැන පැන ඉන්නවා. උදේට එයා මහින්ද රාජපක්ෂ මහත්තයගේ ගෙදර, හවසට අරලියගහමන්දිරයේ.

පලනි දිගම්බරම් එහෙම නෙමෙයි අපි කිව්වොත් කිව්වා. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »