ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න පිලිපීනයේ සහය

Jan 21, 2019 09.36am
feature-top
තාක්ෂණික උපදේශන සේවා බලන්න විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදී ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළඟදීම දිවයිනට පැමිණීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන රාජ්‍ය සංචාරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂ ප්‍රතිලාභයක් ලෙස මම සහය පළ වී තිබේ.

සිය රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වන පෙරේදා (19) පෙරවරුවේ පිලීපීන පොලිස් මූලස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එහි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. එහිදී ජනාධිපතිතුමා පිළිගනු ලැබූවේ පිලිපීන ජාතික පොලිස් සේවාවේ ප්‍රධානි Oscar D Albayalde මහතා සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති Catalino S cuy යන මහත්වරුන් විසිනි.

පිලිපීන රජය ක්‍රියාත්මක කරන ලබන නිතී විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ප්‍රදර්ශනයක් නැරඹීමට ද ජනාධිපතිතුමා මෙහිදී එක්විය.

අනතුරුව පොලිස් ප්‍රධානී ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ පැවති හමුවේ දී ජනාධිපතිතුමා සඳහන් කෙළේ නීති විරොධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි විවෘත සටනක් මේ වන විට තම නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවා තිබෙන බවයි. භූගෝලීය පිහිටීම අනුව නිතී විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇතැයි මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා නීති විරෝධී මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන එම වැළැක්වීම වෙනුවෙන් සියලු මිත්‍ර රටවල සහය අපේක්ෂා කරන බව ද පැවසීය.

නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන ජනාධිපති රොඩරිගේ දුතෙර්තේ මැතිතුමා ගෙන යන ප්‍රබල සටන මෙහිදී ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා කියා සිටියේ තම පිලිපීන රාජ්‍ය සංචාරය සිදු වූයේ ද එතුමාගේ එම සේවාවට සිදු කරන ගෞරවයක් ලෙස බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම ලෝකයේ බොහෝ රටවලට ප්‍රබල අභියෝගයක් වුව ද ඒ සඳහා නිසි පියවර නොගන්නේ ඇතැම් දේශපාලනඥයන් ද ඊට සම්බන්ධවීම හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙළේ දී පවතින විශාල ගැටලුවක් බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නිතිවිරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ව ගෙන යන වැඩපිළිවෙළ ද මෙහිදි විස්තර කළ ජනාධිපතිතුමා එම වැටලීම්වල දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ගේ මෙන්ම පොලිස් නිලධාරින්ගේ ජීවිත අහිමිවීම් පවා සිදුව ඇති බව පැවසීය. එමෙන් ම ජනාධිපතිතුමා සඳහන් කෙළේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තමා ආරම්භ කෙළේ මීට වසර 45 කට පෙර රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කරන අවිධියේ සිට බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස, නියෝජ්‍ය අැමැතිවරයකු ලෙස මෙන්ම අැමැතිවරයකු ලෙසත් ඒ සඳහා දියත් කළ පුළුල් වැඩපිළිවෙළ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ජාත්‍යන්තර සම්මානයක් තමා වෙත පිරිනමා ඇගැයීමට ලක් ළ අයුරු ජනාධිපතිතුමා සිහිපත් කෙළේය. අද දවසේ ද ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය මැඩලීමේ අභියෝගය ජය ගැනීමට ප්‍රබල සටනක නිරතව සිටින බව පෙන්වා දුන් ජනාධිපතුමා ඒ වෙනුවෙන් මෙම වසරේදී ද වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹෙන බව සඳහන් කෙළේය.

පිලීපනයේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් එම පොලිස් නිලධාරින් ඉටු කරන සුවිශේෂී සේවාව ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් විය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »