ජෙනරාල් කොබ්බෑකඩුව විජය විමලරත්න දිවි පුදා වසර 26 යි - දිවි බේරුණු එකම සෙබළා අද කියන කතාව

Aug 08, 2018 10.24am
feature-top
දකුණු පැත්තෙන් විශාල පිපිරුමක්‌ සමග කළු දුමක්‌ පිටවුණා ඉතුරු වුණේ මම විතරයි
ජෙනරාල් කොබ්බෑකඩුව හා කර්නල් විජය විමලරත්න ඇතුළු දේශයේ මහා විරුවන් දස දෙනකු කුරිරු ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයකින් මියගොස්‌ අදට වසර 26 ක්‌ ගතවෙන මොහොතේ ඒ පිළිබඳව යළිත් ජාතියට ආවර්ජනය කරන්නට ඒ අවස්‌ථාවේ දිවි ගලවා ගත් එකම හමුදා සෙබළා වන දෙපා අහිමි උපාලි නම් වූ ඒ රණවිරුවා තම වයස අවුරුදු 23 දී ලැබූ බිහිසුණු අත්දැකීම් නෙතඟ පිරුණු කඳුළු අතරින් 'දිවයින' සමඟ වසර 26 කට පසු (වයස අවුරුදු 53 යි) යළි මෙසේ ආවර්ජනය කළේය.

"එදා අපි 1992 අගෝස්‌තු මාසයේ අට (1992.08.08) වැනිදා අපි වාහන තුනකින් යාපනය අරිආලේ ප්‍රදේශයට යැමට පිටත් වුණේ කොටින්ට එරෙහි ප්‍රහාරයක්‌ සඳහා අවශ්‍ය සැලසුම් සකස්‌ කිරීමටයි. අපි එම ස්‌ථානයේදී සියලු දෙනාම එකම වාහනයකට ගොඩ වුණා. රියෑදුරු අසුනේ වාඩි වුණේ විජය විමලරත්න මහතායි. පසුව කොබ්බෑකඩුව මහතා සමඟ රියර් අද්මිරාල් මොහාන් ජයමහ, කර්නල් ආරියරත්න, කර්නල් පලිපාන, කර්නල් ස්‌ටීවන්, ලෙෆ්ටිනන් විෙ-පුර, නාවික කොමදොරු ලංකා තිලක, මේජර් නලින් ඇල්විට සමඟ රියෑදුරු වික්‍රමරත්න හා මමත් වාහනයට ගොඩවුණා. මම විතරයි වාහනයේ හිටගෙන හිටියේ. මම විතරයි ඒ අවස්‌ථාවේ ආරක්‍ෂක හිස්‌ වැසුම පැලඳ සිටියේ. මම එතකොට විජය විමලරත්න මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙසයි කටයුතු කළේ. වාහනය ඉදිරියට ගමන් ආරම්භ කර සුළු මොහොතක්‌ ගතවුණා විතරයි. මම හිටගෙන හිටපු නිසා මම දැක්‌ක වාහනයේ දකුණු පසින් විශාල පිපිරුමක්‌ සමඟ කළු දුමාරයක්‌ පිටවුණා. මට කතා කරන්න බැරි වුණා. මම මීටර් හැත්තෑවක්‌ දුරට විසිවෙලා ඉඳලා තියෙන්නේ. ඒ අවස්‌ථාවේදී පණ තිබිල තියෙන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයාගෙයි, විජය විමලරත්න මහත්තයගෙයි විතරයි. අන් අය ඔක්‌කොම මැරිලා. ඒ නිසා ඒ දෙන්න හෙලිකොප්ටරයක්‌ මඟින් අරන් ගිහින්. පස්‌සේ තමා මට පණ තියෙන බව දැනගෙන තව හෙලිකොප්ටරයකින් මාව අරන් ඇවිත් තියෙන්නෙ.

පසුව 12 වැනිදා තමා මම දැනගත්තේ කොළඹ යුද හමුදා රෝහලේ ඉන්නවා කියලා. කකුල් වෙලලා තිබුණා. මම නැගිටින්න හැදුවා, එහෙත් නැගිටින්න බැරි නිසා මම ඇහැව්වා ඇයි නැගිටින්න බැරි කියල. එතකොට තමා මට කිව්වේ මගේ කකුල් දෙකම නැහැ කියල.

මම 13 වැනිදා දැනගත්තා කොබ්බෑකඩුව මහත්තයයි, විජය විමලරත්න මහත්තයයි දෙන්නත් මියගිහින් කියල. 13 වැනිදා මාව විශේෂඥ වෛද්‍යවරු සමඟ ගිලන් රථයකින් අරගෙන ගියා විජය විමලරත්න මහත්තයාගේ දේහය බලන්න. මම යාන්තම් ඔලුව උස්‌සල තමා එතුමාගේ දේහය දිහා බැලුවේ. ඒත් මට කොබ්බෑකඩුව මහත්තයාගේ දේහය බලන්න බැරි වුණා. මට ඒ ගැන අදත් දැනෙන්නේ විශාල දුකක්‌. එතුමා පුදුම ගති ගුණ තියෙන නිලධාරියෙක්‌. අපට සැලකුවේ සෙබළකුට වගේ නෙමේ තමන්ගේ පවුලේ කෙනකුට සලකනවා වගේ. හැම තිස්‌සේම සෙබළුන්ගේ අඩුපාඩු හොයල බැලුවා. එනිසාම එතුමාට සෙබළු පුදුම ආදරයක්‌ තිබුණේ. මම මීට පෙරත් දෙපාරක්‌ තුවාල ලැබුවා. ඒත් මම ප්‍රතිකාර ඉවර වෙන්නත් කලින් ආයෙත් සටන් බිමට ගියා. ඒ වාහනයේ ගිය එකළොස්‌ දෙනාගෙන් මම විතරයි ඉතුරු වුණේ. ඒත් මගේ කකුල් දෙකම නැහැ. ඒත් මට ඒ ගැන දුකක්‌ නැහැ රට බේරගත්තේ අපි කියල හිතනකොට. මගේ බිරිඳත් මගේ දරුවො දෙන්නත් මාව හොඳින් බලාගන්නවා".


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »