ඔත්පල සොයුරිය මරා 75 හැවිරිදි සොයුරා රඹුටන් ගසක එල්ලිලා

Jul 30, 2018 10.22am
feature-top
බුලත්සිංහල රැටියල ප්‍රදේශයේ නිවසක්‌ තුළ මියගොස්‌ සිටි 80 හැවිරිදි කාන්තාවකගේ සහ 75 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරු බුලත්සිංහල පොලිසිය මගින් පෙරේදා (28දා) දා සොයාගෙන තිබූ අතර මෙම 75 හැවිරිදි පුද්ගලයා තම සොයුරියගේ ගෙල පිහියකින් කපා පසුව ගෙල වැලලාගෙන මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
 
 මෙසේ මියගොස්‌ ඇත්තේ පිඹුරගේ ලීලාවතී සහ පිඹුරගේ සෝමපාල යන අවිවාහක දෙදෙනාය.
 
 අනතුරකින් තුවාල ලබා අස්‌ථි බිඳී ඔත්පලව සිටි අක්‌කාව මරදන්කඩවල වෙද මහතෙකු වෙත ගෙන ගොස්‌ ප්‍රතිකාර ලබාදීමට 75 හැවිරිදි මල්ලී සූදානම්ව සිටි බවද පොලිසිය පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
 
 මේ අතර තමන් මුහුණදී සිටින අසරණ තත්ත්වය පිළිබඳව කලකිරී සිටි දෙදෙනා වෙනත් අයට කරදරයක්‌ නොවී ජීවිත වලින් සමු ගන්නට මෙසේ උත්සාහ කර ඇති බවට පොලිසිය සැක කරයි.
 
 මේ අනුව මෙම මරණ වලට කිසිවෙකුත් වග නොකිය යුතු බව පවසමින් තම සායන පොතේ පිටුවක 80 හැවිරිදි කාන්තාව ලියූ ලිපියක්‌ද පොලිසියට හමුවී ඇත.
 
 ගෙල කපා ඝාතනය කර තිබූ 80 හැවිරිදි කාන්තාවගේ සිරුර නිවස තුළද නිවස අසල රඹුටන් ගසක ගෙල වැලලාගෙන මියගොස්‌ සිටි 75 හැවිරිදි අයගේ සිරුරද පොලිසියට හමුවී තිබේ.
 
 මතුගම වැඩබලන මහෙස්‌ත්‍රාත් ප්‍රසාද් ඉඹුලේගොඩ මහතා මළ සිරුර හා සිද්ධිය වූ ස්‌ථානය නිරීක්‍ෂණය කර පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන ලදී.
 
 මියගිය කාන්තාව විසින් ලියන ලද බවට සැකකරන ලිපියේ අත් අකුරු ඇගේම අත්අකුරුද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය පරීක්‍ෂණයක්‌ ආරම්භ කොට තිබේ.
 
 කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු, කළුතර කොට්‌ඨාභ භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහ මතුගම සහකාර පොලිස්‌ අධිකාරි ජී. ඩී. එන්. ජයසිරි යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත බුලත්සිංහල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රංග මහතා ඇතුළු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »