සීදුවේ කෝටිපතියාගේ කන්ටේනර් දෙකක බඩු උස්‌සලා කුඩු ගහලා

Jul 10, 2018 10.21am
feature-top
* කොච්චිකඩේ කුඩුකාරයෝ දෙදෙනා අත්අඩංගුවට

 සුඛෝපභෝගී නිවසක්‌ ඉදිකිරීමට විදේශයක සිට මෙරටට විශේෂයෙන් ආනයනය කළ කන්ටේනර් දෙකක අඩංගු රුපියල් ලක්‍ෂ 60 ක්‌ පමණ වටිනා නිවාස ඉදිකිරීමට යොදාගන්නා ග්‍රැනයිට්‌ ටයිල්, දොර ජනෙල්, යතුරු තහඩු ඇතුළු ඉදිකිරීමේ උපකරණ රැසක්‌ සොරාගෙන ඒවා කුණු කොල්ලයට විකුණා ලත් මුදල් අතදිගහැර මත්කුඩු භාවිතයට යෙදවූ මත්ලෝලීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් මීගමුව දිස්‌ත්‍රික්‌ අපරාධ කොට්‌ඨාශය ඔවුන් විසින් හෙළිකළ තොරතුරු අනුව ඔවුන් විසින් සොරාගත් ලොරි දෙකක්‌ පිරවූ භාණ්‌ඩ සියල්ල අත්අඩංගුවට ගෙන ඇත.
 
 සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මෙම සිද්ධියට අදාළව මීගමුව දිස්‌ත්‍රික්‌ අපරාධ කොට්‌ඨාශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක සහ සැරයන් (63188) එම්. රවුෆ් යන නිලධාරීන් විසින් සිදුකරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය වූ කරුණු අනුව මෙම සිද්ධියව මුහුණ දී ඇති පැමිණිලිකරු සීදුව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු කටාන තිඹිරිගස්‌කටුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නව නිවසක්‌ ඉදිකිරීම ආරම්භ කර ඇත.
 
 ඒ සඳහා අවශ්‍ය රුපියල් ලක්‍ෂ 60 ක්‌ පමණ වටිනා ඉදිකිරීමේ උපකරණ ආනයනය කර තිබේ. එසේ ආනයනය කළ උපකරණ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය නිවස සාදන ඉඩමේ ගබඩා කර තිබී ඇති අතර නිවස ඉදිකිරීමේ වැඩකටයුතු මසකට අධික කාලයක්‌ නවතා තිබී ඇත.
 
 එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගත් සැකකරුවන් එම ඉඩමට ඇතුළුවී එහි තිබූ උපකරණ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය සොරකම් කිරීම ආරම්භ කර ඇත. එහි තිබූ ග්‍රැනයිට්‌ ටයිල් එකක මිල රුපියල් 10,000 ක්‌ වන අතර සැකකරුවන් එහි තිබූ ග්‍රැනයිට්‌ ටයිල් ලොරියකට වැඩි ප්‍රමාණයක්‌ සොරකම් කර ඇත. එම ග්‍රැනයිට්‌ ටයිල් බරෙන් අධික වීම නිසා සැකකරුවන් විසින් ඒවා සොරාගෙන ප්‍රවාහනය කර ඇත්තේ යතුරු පැදි මගිනි. සොරාගත් ග්‍රැනයිට්‌ ටයිල් සහ ඉදිකිරීමේ උපකරණ සැකකරුවන් විසින් අලුතින් නිවාස ඉදිකරන්නන්ට කුණු කොල්ලයට විකුණා මත්කුඩු උරා ඇත. පිත්තල උපකරණ ආදී සියල්ල පරණ බඩු මිලදී ගන්නා බෝතල් කඩවලට විකුණා ඇත. සැකකරුවන් විසින් සොරාගත් උපකරණ ආදිය අත්අඩංගුවට ගෙන පොලිසියට ප්‍රවාහනය කර ඇත්තේ පිරවූ ලොරි දෙකක්‌ මගිනි. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
 
 මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරාළ, සහකාර පොලිස්‌ අධිකාරි එම්. රිµdඩ් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණ මත මීගමුව අපරාධ කොට්‌ඨාශයේ ස්‌ථානාධිපති සම්පත් දිසානායක මහතා විමර්ශන කටයුතු මෙහෙය විය. සැරයන් (63188) එම් රවුෆ්, පො.කො. (82068) සම්පත්, පො. කො. (34292) නලින්ද, පො. කො.(37928) වන්නිනායක, පො.කො.(88441) හපුවිට සහ පො. කො. රි. (85438) ජයකොඩි යන මහත්වරුන් වැටලීමට සහභාගි වූහ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »