කොකුන් 26 ක්‌ මරා මසට ගෙන යද්දී ඇල්ලූ පේදුරුතුඩුවේ තරුණයාට දඩ

Jul 09, 2018 11.15am
feature-top
පේදුරුතුඩුව, නාගර්කෝවිල් රක්‍ෂිතයේ කලපුව ප්‍රදේශයේ සිටි කොකුන් 26 දෙනකු මරා මස්‌ පිණිස අලෙවි කිරීමට යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණයකුට යාපනය දිසා විනිසුරුවරයා විසින් රුපියල් 20,000 ක දඩයක්‌ (05 වැනිදා) නියම කරන ලදී.

සැකකරුට දඩ නියම කිරීමෙන් පසු ලබන 19 දා උසාවියේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කළේය.

මෙලෙස දඩ නියම කෙරුණේ අම්පත් කුඩන්කනේ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකුටය.

සැකකාර තරුණයා විසින් මරා දමන ලද කොකුන් වළ දමන ලෙසට නියෝග කළ දිසා විනිසුරුවරයා සැකකරුට යළි මෙවැනි පාපකාරී ක්‍රියා සිදු නොකරන ලෙසට තදින් අවවාද කළේය.

කොකුන් මරා දැමීම නීතියෙන් තහනම් බව පොලිසිය කියයි.

මොහු කලපුවේ දැල් එලා කොකුන් අල්ලා ගන්නා බවත් පසුව එම පක්‌ෂීන්ගේ කකුල් කපා පොහොර උරයක දමාගෙන පැමිණෙන බවත්. පසුව ඔහු එම පක්‍ෂියාගේ තටු ඉවත් කර කුකුළු මස්‌ බව පවසා ධීවරයන්ට හා වෙනත් අයට රුපියල් 250 ක්‌ 350 ත් අතර මුදලකට අලෙවි කර ඇති බවත් හෙළි වූ බව පොලිසිය කියයි.

කන්කසන්තුරේ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි බුද්ධි උඩුගම සූරිය, සහකාර පොලිස්‌ අධිකාරී ඩී. කේ. ප්‍රියන්ත යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පේදුරුතුඩුව පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන් ජයලත් මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන් සුමනවංශ (21690), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන චන්ද්‍රතිලක (29721), ලවන් (7827), අංජන (72464), කුලදීපන් (8040), කුමාර (84717), අබේසිංහ (4784) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »