ගුරුවරියකගේ පවුම් 2 1/4 ක රන් මාලය කොල්ලකා පෙන්ඩනය සමඟම ගිලලා; විරේකයක්‌ කර රන් මාලය එළියට ගැනේ

Jul 07, 2018 10.57am
feature-top
ගෙලිඔය ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී පාසල නිම වී යන ගුරුවරියකගේ ගෙල බැඳි පවුම් 2 1/4 ක්‌ වටිනා රන් මාලය කඩාගෙන පොලිසිය දැක පෙන්ඩනය සමඟම එම මාලය ගිල දැමූ හමුදා සෙබළකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා විසින් සැකකරු මෙම 12 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කොට තබන ලෙසට නියෝග කරන ලදී.
 
 කාලයක සිට තදින්ම මතට ඇබ්බැහි වී ඇති මෙම සැකකරු පල්ලෙකැලේ හමුදා කඳවුරේ සක්‍රීය සේවයේ යෙදී සිටින අතර නිවාඩු ලද අතරතුරදී මෙසේ මාල සොරකමේ යෙදෙන බව හෙළිව ඇත. මෙම සිද්ධිය වන අවස්‌ථාවේදී ගෙලිඔය නගරයේ ප්‍රාදේශීය සභා අතුරු මාර්ගයේ ගුරුවරිය යන එන අතරමඟ පාළු ස්‌ථානයක සිය යතුරුපැදිය නවතා එය අලුත්වැඩියා කරමින් සිටින බව හඟවමින් සිට ගුරුවරිය ළං වනවිට රන් මාලය කඩාගෙන පලාගොස්‌ ඇත. එහිදී ගුරුවරිය යතුරුපැදියේ අංකය සටහන් කරගෙන පේරාදෙණිය පොලිසියට ඇමතුමක්‌ දී තිබේ.
 
 වහාම ක්‍රියාත්මක වූ පේරාදෙණිය පොලිස්‌ නිලධාරින් ගෙලිඔය නගරයට ළංවත්ම සැකකරු පෙන්ඩනය සහිත මාලය ගිල දමා ඇත. වහා යතුරුපැදියේ අංකය හඳුනාගත් නිලධාරීන් නගරවාසීන්ගේ උදව්වෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ස්‌කෑන් පරීක්‍ෂණයකට යොමුකර ඇති අතර රන් මාලය ඔහුගේ ආමාශය තුළ තිබෙනු එහිදී දැක ඇත.
 
 සැකකරු එහිදී කියා ඇත්තේ තමා අතීතයේදී වෙඩි ප්‍රහාරයකට ලක්‌ව එහි යකඩ කොටසක්‌ බඩ තුළ තිබෙන බවය. මාලයක්‌ නොගත් බවත් දිවුරමින් පවසා ඇත.
 
 පසුව විරේක බෙහෙතක්‌ යොදා මාලය ලබාගෙන තිබේ. හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවකින් පසු ගුරුවරිය විසින් සැකකරු හඳුනාගන්නා ලදී.
 
 පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානාධිපති මහින්ද කල්දේරා මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති උ. පො. ප. කපුකොටුව මහතාගේ මෙහෙයවීමෙන් උ. පො. ප. ජයසේකර, පො. සැ. ජයශාන්ත (43901), පො. සැ. සරත් (4840), පො. කො. තිලක්‌ කුමාර (46944) සහ පො. කො. රුවන් කුමාර (19208) යන නිලධාරීහු පරීක්‍ෂණ සිදුකළහ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »