දුමින්දගේ පියාගේ රියැදුරු සාක්කිකරුට බලපෑම් කරලා

Jul 04, 2018 09.50am
feature-top
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව පැවැත්වෙද්දි එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොකියන ලෙස විත්තිකාර දුමින්ද සිල්වාගේ පියාගේ රියැදුරු එහි සාක්කිකරුවකුට දුරකථනයෙන් බලපෑම් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ඊයේ (03) පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවෙහි පැවැසීය.

මහාධිකරණයේ එම නඩු විභාගයේදී එම සාක්කිකරු සඳහන් කළ දුරකථන අංකය සහ විත්තියේ සාක්කිකරුවකු වූ දුමින්ද සිල්වාගේ පියාගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී සිය රියදුරුගේ බවට සඳහන් කළ දුරකථන අංකය එකිනෙක සසැ‍ඳෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවැසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනාගේ කණ්ඩායම් දෙක අතර 2011 පළාත් පාලන මැතිවරණ දින කොළොන්නාවේදී ගැටුමක් ඇති වූ බවත් එහිදී දුමින්ද සිල්වා පළමුවෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට පහර දී ඇති බව සාක්කිවලින් අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා තවදුරටත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවැසීය.

එම ගැටුමේදී දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් ඇති වූ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ලේ විලක වැටී සිටි බවද දුමින්ද සිල්වාගේ ඇස අසල ලේ ගලමින් සිටි බවද සාක්කිවලින් අනාවරණය වී ඇතැයි හෙතෙම කීය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී ඉදිරිපත් වූ සාක්කිකරුවන් පස්දෙනකුගේ සාක්කි ගෙනහැර දක්වමින් නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දුමින්ද සිල්වාට නිකුත් කර තිබූ ගිනි අවිය එම නඩුවෙහි විත්තිකරුවකු වූ ගැබෙඩ නමැති තැනැත්තාගේ අතෙහි එම අවස්ථාවෙහි තිබී ඇති බවය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වී මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් එම දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා මේ බව කීය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලීන් පෙරේරා සහ විජිත් මලල්ගොඩ යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.

විත්තිකාර අභියාචකයන් වන දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවි ජයන්ත හෙවත් දෙමටගොඩ චමින්ද සහ මුදියන්සේලාගේ සරත් බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු සිය කරුණු දැක්වීම් අවසන් කළහ. පෙත්සම්වලට එරෙහිව නීතිපතිවරයාගේ කරුණු දැක්වීම දෙවැනි දිනට ඊයේ (03) පවත්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මේ බව කීය.

මහාධිකරණ නඩු විභාගයේදී සැරයන් දිසානායක නමැත්තා සාක්කි දීමට පැකිලෙමින් සිටි බව හෙතෙම කීය. පසුව ඔහු විනිසුරුවරුන් හමුවේ ප්‍රකාශයක් කරමින් විත්තිකාර දුමින්ද සිල්වාගේ පියාගේ රියැදුරු තමාට දුරකථනයෙන් කතාකොට ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොකියන ලෙස බලපෑම් කළ බව සඳහන් කර ඇතැයි ද ඔහු කියා සිටියේය. එහිදී එම සාක්කිකරු එකී ඇමතුම ලැබුණු දුරකථන අංකය සඳහන් කැර තිබූ බව ද ඔහු කීවේය.

විත්තියේ සාක්කිකරුවකු ලෙස දුමින්ද සිල්වාගේ පියා සාක්කි දුන් අතර ඔහුගේ හරස් ප්‍රශ්න විමසීමේදී රියැදුරුගේ බවට ලබාදුන් අංකය සාක්කිකරු ලබාදුන් අංකය සමඟ සසැ‍ඳෙන බව හෙතෙම කීය.

සාක්කි විභාගය පසුවට කල්තැබිණි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »