කොළඹ සිට යාපනය දක්වා හෙරොයින් ජාවාරමේ සුලමුල හෙළිවෙයි

Jun 06, 2018 09.59am
feature-top
කොළඹ සිට යාපනය දක්වා දිනපතා හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමේ සුලමුල හෙළිකර ගත් ගලේවෙල ‍ෙපාලීසිය එසේ හෙරොයින් ගෙන යමින් සිටි සැකකරුවෙකු සහ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා හෙරොයින් ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක විතානාච්චි මහතාට කොළඹ සිට යාපනය දක්වා දිනපතා විවිධ පුද්ගලයන් අත හෙරොයින් යවන බවට තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව ඔහු මෙම ජාවාරම කොටුකර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් සිට ඇත.

කොළඹ කෙසෙල්වත්තේ සිට දිනපතා මේ ආකාරයේ හෙරොයින් යාපනය දක්වා බෙදා හැරෙන බව හෙළිවී තිබිණි.

මෙම ජාවාරමේ එක් කොටසක් ලෙස දිනපතා අවුරුදු 26ක් වයසැති ද්‍රවිඩ ජාතික තරුණයකු අත මත්කුඩු යවා තිබේ.

ඔහු මත්කුඩු පාර්සලය රැගෙන යාමට පෙර ඔහුටද මත්කුඩු පානය කිරීමට දී ඇත. දුරකතනයක් ද සමඟ මොහු යාපනය දක්වා පුද්ගලික බස් රථයකින් ගොස් යාපනයේ දී ඔහුට එහි සිටින ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන දුරකතන ඇමතුම් ඔස්සේ විවිධ ස්ථානවලට ගොස් අදාළ මත් කුඩු ලබාදෙනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පෙරේදා දින මේ ආකාරයෙන් මත්කුඩු රැගෙන ගොස් ආපසු පැමිණ ඇති මෙම තරුණයාට ඊයේ දිනයේ දී ජාවාරම්කරුවන් විසින් මත්කුඩු පානය කිරීමට දී මත්කුඩු පාර්සලය ද සමඟ යාපනය බලා පිටත්කර ඇත.

මොහු බස්රථයේ නැ‍ඟී ගලේවෙල ප්‍රදේශයෙන් ගමන් ගනිද් දී ඔහුගේ දුරකථනය රැගෙනවිත් නොමැති බව මතක් වී ඇත. දුරකථනය නොමැතිව මත්කුඩු ගෙන යාමෙන් ජාවාරම්කරුවන් සම්බන්ධ කරගත නොහැකි නිසා මොහු ගලේවෙලින් බැස ආපසු කොළඹ ඒමට සිතා බසයක් එනතුරු රැඳී සිට ඇත.

මේ අවස්ථාවේ දී ගලේවෙල පොලිස් ස්ථානාධිපති ජානක විතානාච්චි මහතාගේ ඔත්තුකරුවන්ගෙන් මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරක් ලැබී ඇත. ඒ අනුව පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී මොහු අදාළ ජාවාරමේ කොටස්කරුවකු බව අනාවරණය වී තිබිණි.

මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී ජාවාරමේ තොරතුරු විශාල ප්‍රමාණයක් හෙළිවී ඇති අතර මොහුගේ දුරකථනයෙන් එම ජාවාරමේ තවත් පාර්ශ්වකරුවන්ගේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. අද (06) දින මොහු ගලේවෙල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කටයුතු යොදා ඇති බව ද රුවන් ගුණසේකර මහතා පැවසීය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »