තවත් පවුල් ලක්ෂ දෙකකට සමෘද්ධිය

May 17, 2018 09.33am
feature-top
ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටු දැකීමේ රජයේ වැඩ පිළිවෙල අනුව පවුල් ලක්ෂ දෙකක් වෙත අලුතෙන් සමෘද්ධිය ලබා දීමට තීරණය කර ඇත.

සමෘද්ධි ලබා දීමේ දී පක්ෂ පාටවලින් තොරව සුදුසු පවුල් තෝරා ගැනීමේ වැඩපිළිවෙළ රට පුරාම ක්‍රියාත්මක කරන බවද සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ ඇමැති පී.හැරිසන් මහතා පැවසීය.

සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ දී පෙරේදා (15) පැවැති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය සමිති 22 ක නිලධාරින් හමුවේ හැරිසන් ඇමතිවරයා මේ බව සඳහන් කෙළේ ය.

එහිදී තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද කීය.

සමාජ සවි බල ගැන්වීමේ වැඩපිළිවෙල යාවත්කාලීන කරමින් නව සමෘද්ධිලාභීන් ලක්ෂ දෙක දක්වා වැඩි කර දිළිඳුකම පිටුදැකීම ප්‍රධානම අරමුණ වෙන්නෙ.

පාට කණ්ණාඩි වලින් බලා සමෘද්ධි සහනාධාරය ලබාදීමේ ක්‍රමවේදය මින් පසු අහෝසි කරනවා.සත්‍ය වශයෙන් ම ගමේ දිළිඳු , නැති බැරි පවුල් වෙත සමෘද්ධි සහනාධාරය මින් ඉදිරියේදී ලබා දීමට තීරණය කර තිබෙනවා. රට දිළිඳු බවින් මුදා ගැනීම ඒකායන අපේක්ෂාව ඇතිවයි මා ක්‍රියාත්මක වන්නේ.

මෙම ක්‍රියාවලියට සමගාමීව සමෘද්ධි නිලධාරින් අතර පවතින වැටුප් විෂමතාව නැති කිරීමට හා සේවා ස්ථිරභාවය ඇති කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බවට සමෘද්ධි වෘත්තීය සමිති නායකයන් හමුවේ මා පොරොන්දුවක් ලබා දෙනවා.

ගමේ තිබෙන සමෘද්ධි බැංකුව නව මුහුණුවරකින් මෙන්ම නව තාක්ෂණයෙන් වැඩි දියුණු කර ගුණාත්මක බැංකුවක් ලෙස සංවර්ධනය කරනවා. ඉදිරියේ දී සමෘද්ධිලාභීයාට මෙන්ම සමෘද්ධි නිලධාරියාට ද සමෘද්ධි බැංකුව මඟින්ම ණය පහසුකම් ලබාදීමේ සේවාව අරඔනවා.

සමාජ සවිබලගැන්වීම කාර්යශීලිව ඉටු කරණු ලබන සමෘද්ධි නිලධාරින්ට උසස්වීම් මෙන්ම විදෙස් ශිෂ්‍යත්ව පිරිනැමීමටද වැඩපිළිවෙලක් සැකසීමට බලාපොරොත්තු වෙනවා.

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ විෂය පද්ධතිය, සේවා ගැටළු අඩුපාඩු සේම ඉටු කළ යුතුව ඇති ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳ කෙටි කලක් තුළදී හැරිසන් ඇමතිවරයා දක්වන ලද යහපත් ප්‍රතිචාරය පිළිබඳ වෘත්තිය සමිති නිලධාරින් මෙහිදි සිය ප්‍රසාදය පළ කර සිටියේය.

මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ශිරාණි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) සී.ඩී.කළුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නිලධාරින් රැසක් සහභාගි වුහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »