පොහොට්ටුවේ අපේක්ෂක ඇතුළු 3ක් අල්ලයි

Apr 07, 2018 10.04am
feature-top
විශ්වාසභංගය ජය ගැනීමේ සතු‍ටින් රතිඤ්ඤා දල්වමින් සිටි පිරිසකට අමානුෂික ලෙසින් පහරදී වාහන දෙකකට ද අලාභ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු ඇතුළු තිදෙනකු පෙරේදා (5) පස්වරු අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කීය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව පසුගිය හතර වැනි දින පාර්ලිමේන්තු විශ්වාසභංග‍ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාදයවීම නිසා සතුටට පත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී ආර්. පී. විජේතුංග මහතා ඇතුළු පිරිසක් බත්තුළුඔය කිරියන්කල්ලිය හංදියේ රතිඤ්ඤා දල්වමින් සිටිය දී එම ස්ථානයට පිරිසක් සමඟ පැමිණි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පරාජයට පත් අපේක්ෂකයකු ඇතුළු පිරිසක් රතිඤ්ඤා දල්වමින් සිටි පිරිසට පහර දීම නිසා තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. එහි දී වාහන දෙකකට ද හානි වී තිබුණි. පසුව පොදු ජන පෙරමුණු අපේක්ෂකයා ඔහුගේ මල්ලි හා තවත් අයකු අත්අඩංගුවට ගත් බවත් කියයි.

මේ සිද්ධියේ දී තමන්ට ද රතිඤ්ඤා දල්වමින් සිටි පිරිස පහර දුන් බවට අපේක්ෂකයා වෙනත් පොලිසියකට පැමිණිළි කර ඇති බවත් පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් ද තමන් පරීක්ෂණයක් සිදු කරණ බවත් උඩප්පුව පොලිසිය කීය.

උඩප්පුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා ඇතුළු නිලධාරීහු වැඩි දුර පරීක්ෂණ සිදු කරති.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »