සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබද ජාතික සමුළුවක්

Mar 08, 2018 10.53am
feature-top
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මෑත කාලීන සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාවලියට මුලපිරීම පිළිබද ජාතික සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් හෙට දින (09) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

සෑම වසරක දීම සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධාකාර ව්‍යාපෘති සදහා රුපියල් බිලියන 100 ක පමණ මුදලක් වැය කරන අතර, එම ව්‍යාපෘතිවල තොරතුරු ජනතාවට නිවැරදි ආකාරයෙන් නොලැබීම පිළිබදව අවධානය යොමු කරමින් මෙම සමුලුව පැවැත්වෙයි.

ජනතාවට නිසි පරිදි තොරතුරු ලැබීමෙන් අමාත්‍යාංශය සමග විශ්වාසවන්තභාවයක් මතුවන අතර, එමගින් විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව 2015 වසරේ සිට මේ දක්වා සිදු කළ විවිධ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබදව ජනතාව මෙහිදී දැනුවත් කිරීමට නියමිතය. මෙම සමුලුව සදහා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට, පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, ග්‍රාමිය සංවිධාන නායකයින්ට, මාධ්‍යවේදීන්ට සහභාගි වීම සදහා ආරාධනා කර ඇත.

ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක ආර්ථික සමුළුව නිකුත් කළ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පෙරමුණ ගෙන තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

ඒ පිළිබදව ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇත.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »