ව්‍යාපාරයන්ට ආකර්ෂණීය කේන්ද්‍රස්ථානයක් කරනවා

Mar 03, 2018 09.32am
feature-top
ශක්තිමත්, තිරසර හා නම්‍යශීලී ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ෂණීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට රජය කැපවී සිටින බව සිංගප්පූරුවේ පැවැති ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජන සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පැවැසීය.

සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේ පැවැති මේ සමුළුව අමතමින් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියේ චීනයේ සිට ස්පාඤ්ඤය දක්වා වෙසෙන බිලියන 3ක ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ හා සේවා සැපයිය හැකි, ඉන්දීය සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලයීය පිහිටීමේ වාසිය ලබා ගැනීමට දැන් ජාත්‍යන්තර ආයෝජකයන්ට අවකාශ ලැබී ඇති බවය.

ශ්‍රී ලංකාවේ ශක්තීන් කෙරෙහි වැඩි බරක් තබමින්, කලාපයේ කැපී පෙනෙන ස්ථානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙමින් සිටින බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, ජපානය ඉදිරිපත් කළ ‘ඉන්දු - ශාන්තිකර නිදහස් හා විවෘත සමුද්‍ර ගමනාගමන’ සංකල්පය, ඉන්දියාවේ ‘අසල්වැසියාට ප්‍රමුඛත්වය’ ප්‍රතිපත්තිය හා චීනයේ ‘එක් තීරයක් – එක් මාවතක්’ වැඩපිළිවෙළ යන ක්‍රියාකාරී සැලසුම් තුන සමගම කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියා කරන බව ද පෙන්වා දුන්නේය.

2018 වසරේ මුල දී සිංගප්පූරුව සමඟ අත්සන් කෙරුණු නිදහස් වෙළෙඳ ගිවිසුම ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බව ද අගමැතිවරයා පැවැසීය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ, ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසම, සිංගප්පූරු - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය සහ සිංගප්පූරු ව්‍යාපාරික ෆෙඩරේෂනය සංවිධානය කළ ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සඳහා සිංගප්පූරු සහ එහි ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමාගම්වල දැඩි උනන්දුවක් දක්නට තිබිණි. සහභාගීත්වය සීමා කර තිබූ හෙයින්, සමාගම් ගණනාවකට ආසන වෙන් කර ගැනීමේ අවස්ථාව අහිමි විණි.

මේ සමුළුවට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වූ සිංගප්පූරු වෙළෙඳ හා කර්මාන්ත ඇමැති එස්. ඊස්වරන් මහතා පැවැසූයේ ජාත්‍යන්තරකරණය වී ඇති සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමේ ප්‍රතිඵල ලෙස ශ්‍රී ලංකාවට ද ජාත්‍යන්තරය සඳහා නව මාවතක් විවර වන බවය. මේ සමුළුව සඳහා සහභාගී වීමට විවිධ ව්‍යවසායකයන් තුළ තිබූ දැඩි ඉල්ලුම මගින් එය තව තවත් සනාථ වන බව ද ඊස්වරන් මහතා පැවැසීය. දැනටමත් සිංගප්පූරු ආයෝජකයන් ගණනාවක් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යවසාය ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පෙන්වා දුන් සිංගප්පූරු ඇමැතිවරයා, ඒ නිසා ව්‍යාපාර අවකාශ වැඩි දියුණු වනවා සේම ඉහළ පෙළේ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ද නිර්මාණය වන බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සමුළුවේ දී විශේෂ ප්‍රශ්නෝත්තර වැඩසටහනකට ද සහභාගී විය.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් වීරරත්න, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කොළඹ කොටස් වෙළඳ පොළ සභාපති රේ අබේවර්ධන, ඩීබීඑස් සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන ආර්ථිකවේදී ටයිමුර් බේග් (Mr. Taimur Baig), සිංගප්පූරු ව්‍යාපාර ෆෙඩරේෂනයේ භාණ්ඩාගාරික ලෝරන්ස් ලියෝ (Mr. Lawrence Leow), කොළඹ මූල්‍ය නගර ප්‍රධාන අළෙවි නිලධාරී ලියැං තෝ මිං (Mr Liang Thow Ming), කුඕක් සමාගමේ සභාපති කුඕක් කූන් ඉඅන් (Mr. Kuok Kgoon Eanl), ආසියානු ඇබර්ඩීන් ස්ටෑන්ඩඩ් කළමනාකාර අධ්‍යක්‍ෂ හු යුං (Mr. Hugh Young), සොෆ්ට්ලොජික් ආයෝජන ප්‍රධානී නිලූ ජයතිලක, ශ්‍රී ලංකා සුරැකුම් සහ විනිමය කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන සහ සිංගප්පූරු - ශ්‍රී ලංකා ව්‍යාපාර සමුළුවේ සභාපති ඇන්ජලෝ පෙරේරා යන මහත්වරුන් ද මෙහි දී අදහස් දැක් වූහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »