වැව් 2400ක පිළිසකර වැඩ කඩිනමින් අරඹන්නැයි ජනපතිගෙන් උපදෙස්

Feb 27, 2018 09.15am
feature-top
වියළි කලාපයේ කුඩා වැව් 2400 ක ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිබෙන අතර, ඉදිරි වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ ගොවි ජනතාවට අපහසුතාවකින් තොරව තම ජීවනෝපාය කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව සලසා දෙමින් එම වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (26) පෙරවරුවේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති පොළොන්නරුව දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මෙතෙක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය සහ මෙම වසරේ සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

මේ අතරින් වකුගඩු රෝහලේ ඉදිකිරීම්, ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සහ, ත්‍රෛභාෂා පාසලේ ඉදිකිරීම් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග සහ වාරිමාර්ග ඇතු'ථ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙන්ම රේඛීය අමාත්‍යාංශ ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී එම ප්‍රදේශවල ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා හඳුනාගනිමින් සහ ජනතා මුදල් අපතේ නොයන අන්දමින් සංවර්ධන සැලසුම් සකස් කිරීම නිලධාරින්ගේ වගකීම බවයි.

දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් සකස් කරන ලද වැඩසටහන් නිවැරදි නිර්ණායක ඔස්සේ ජනතා අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් යළි සැලසුම් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සහ ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි. ඉදිරි වගා කටයුතුවලදී මුහුණදීමට සිදුවන ජල ගැටලු පිළිබඳව මෙහිදී නිලධාරින්ගේ අවධානය යොමුකළ ජනාධිපතිතුමා ජලාශවල සහ වැව්වල පවතින ජල මට්ටම පිළිබඳ ගොවි සංවිධාන හරහා ගොවි ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරමින් ඒ අනුව තම වගා සැලසුම් සකස් කර ගැනීම පිළිබඳ ඔවුන්ට උපදෙස් ලබාදීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »