උදයංග ශ්‍රී ලංකාවට ගෙන ඒම ගැන සාකච්ඡා

Feb 06, 2018 10.22am
feature-top
පෙරේදා අලුයම ඩුබායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් මිග් යානා මූල්‍ය වංචාවට සම්බන්ධ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන ඒම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යන රාජ්‍ය අංශ එක්ව සාකච්ඡා පවත්වයි.

එම සාකච්ඡාවලට අනුව උදයංග වීරතුංග මහතා මෙරටට ගෙනඒම සම්බන්ධව ගනු ලබන තීරණය ඩුබායි ජාත්‍යන්තර පොලිසියට ඊයේ පස්වරුවේ දැනුම්දීමට තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය. උදයංග වීරතුංග මහතාට මෙරට මෙන්ම වෙනත් රටක පුරවැසිකම තිබුණත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබුණේ මෙරටින් පමණි.

එම නිසා ඔහුට පුරවැසිකම හිමි අනෙක් රටට පිටුවහල් කිරීමට හෝ මෙරට වරෙන්තු ඉල්ලීම පිළිබඳ ඩුබායි ජාත්‍යන්තර පොලිසිය අවධානය යොමුකරන බවද පැවසේ. කෙසේ වෙතත් අද වනවිට උදයංග වීරතුංග මහතා සම්බන්ධව ගනු ලබන තීරණය ප්‍රකාශ වීමට ඉඩ ඇති බවද පැවසේ.

මේ අතර නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ පස්වරුවේ දෙනියායේදී ප්‍රකාශ කළේ උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව යන බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 යානා හතරක් මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබිණ. මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉල්ලීම මත එම වරෙන්තු නිකුත් කර ඇත.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »