මැතිසබේ ගුටි බැට

Jan 11, 2018 09.56am
feature-top
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව විවාද කිරීමට රැස්වූ විශේෂ පාර්ලිමේන්තු රැස්වීම ගුටිබැට, හූ හඩ, පහරදීම් සහිත දැඩි කලහකාරි ස්වරූපයක් යටතේ නිමාවට පත් වනු ඊයේ (10) දක්නට ලැබිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර නියෝග 14 වැනි වගන්තිය ප්‍රකාරව කතානායක කරු ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම විශේෂ සභාවාරය පැවැත්වීය.

අගමැතිවරයා සිය විශේෂ ප්‍රකාශය ආරම්භ කරත්ම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරමින් සිය අසුන්වලින් නැඟිට පෝස්ටර් ප්‍රදර්ශනය කරන්නට විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය අතරතුර ඒකාබද්ධයේ මන්ත්‍රීවරු විරෝධතා ප්‍රකාශ ඇතුළත් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් වික්‍රමසිංහ මහතාගේ කතාවට බාධා කරමින් උස් හඬින් කෑ ගසා සභාගැබ මධ්‍යයට පිවිසියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, උදය ගම්මන්පිල මහත්වරු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සෙංකෝලය දෙසට පියමං කළහ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සෙංකෝලය ආරක්ෂා කිරීමේ පියවරක් යැයි හඟවමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගමනට හරස් වූහ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි, එස්.එම්. මරික්කාර් මහත්වරු ඉදිරියෙන් සිටියහ. හෙක්ටර් අප්පුහාමි, මුජිබර් රහුමාන් මන්ත්‍රීවරු ද ඒ අතර වූහ.

මේ අතර සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා හා මරික්කාර් මන්ත්‍රීවරයා අතර පෝස්ටර් උදුරා ගැනීමේ පොර බැදීමක් දක්නට ලැබිණි. ඊට මැදිහත් වූ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා තල්ලු වී යනු දක්නට ලැබිණි. ඉන් කුපිත වූ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාගේ අතක් මරික්කාර් මන්ත්‍රීවරයාගේ දෙසට එසැවිණි. පහර තදින් වැදුණු බව දක්නට වූයේ මරික්කාර් මන්ත්‍රීවරයාගේ හැසිරීමෙනි. මරික්කාර් මන්ත්‍රීවරයා ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට පහරදීමට උත්සාහ කළත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඔහුව පසෙකට ඇදගෙන ගියහ. නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා ගැටුමට මැදි වන මන්ත්‍රීවරුන් ඉන් වැළැක්වීය. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා එක් පෝස්ටරයක් උදුරාගෙන ගුලි කර දැම්මේය.

ඒකාබද්ධයේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා ගුලි කර දැමූ පෝස්ටරයක් විශේෂ ප්‍රකාශය කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙසට එල්ල කරන්නට සැරසෙත්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එය වැළැක්වූහ. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඊට සෘජුව මැදිහත් වීමෙන් ඉන්දික මන්ත්‍රීවරයා සමඟ තර්ජනාත්මකව බහින් බස් වනු දක්නට ලැබිණි. ඒකාබද්ධයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක අසුනට විරෝධය පළ කරමින් උස් හඬින් තම ප්‍රකාශ නිකුත් කළේය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා හා සහකාර වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහත්වරු සෙංකෝලය ආරක්ෂා කළහ. ඒකාබද්ධයේ ප්‍රසන්න රණවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරුන් ඇතුළු කිහිපදෙනකු තල්ලු කර ගැනීම්, බහින් බස් වීම් ඇති විය. ඇතැමෙක් වාදයට ගිය අතර තවකෙක් හබයකට අතවනනු දක්නට ලැබිණි. ගැටුම වළක්වන්නට උත්සාහ දැරූ මන්ත්‍රීවරු ද ඒ අතර වූහ.

මේ සියලු හැලහැප්පීම් මධ්‍යයේ අගමැතිවරයා සිය කතාව කරගෙන යෑම සිදු කළේය. විශේෂ ප්‍රකාශය පෙරවරු 11.15 ට අවසන් විය.

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව අගමැතිවරයාගේ කතාව ඉදිරියේදි දියාරු වී යද්දී ලැජ්ජයි, ලැජ්ජයි, කතානායකතුමා ලැජ්ජයි කී ඒකාබද්ධය සභාව කල් තබා සෙංකෝලය ඉවත් කළ පසුව හූ හඬ දෙන්නට විය.

කතානායකවරයා පාර්ලිමේන්තුව ලබන 23 වැනිදාට කල් තබා නැඟිට ගියේය. මන්ත්‍රීවරුන් කවුරු කවුරුත් සිනා හඬින් ඈත් මෑත් වෙන්නට සැරසෙද්දී මරික්කාර් මන්ත්‍රීවරයා සහ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාගේ අතර ගැටුමක් ඇති විය. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ද සිය විරෝධය දැක්වීය

මේ සිද්ධීන් දුටු ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සභා ගැබ මැද සිට දිවවිත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සමඟ ගැටුණේය. ඉන්පසු කිසිවක් නොකළ අයකු ලෙස දිව යනු ද දක්නට ලැබිණි.

තරුණ මන්ත්‍රීවරුන්ගේ ගුටිබැට හුවමාරුව බලා සිටීමට නොහැකිව ඒ මැදට පැමිණ රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය ගැටුමට මැදි වූවාය. රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ගුටිබැට හුවමාරු කර ගන්නා මන්ත්‍රීවරුන් අතරට මැදි වූවාය. එය දුටු තුසිත විජේමාන්න මන්ත්‍රීවරිය සිය සහෝදර මන්ත්‍රීවරිය සොයනු දක්නට ලැබිණි.

මන්ත්‍රීවරියන් දෙදෙනා මැදි කර ගත් ගුටිබැට හුවමාරුව දිග් ගැස්සිණි. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ බෙල්ලේ එල්ලී සිටියේය. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා, රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාව එක් පසෙකට ඇද්දේය. මන්ත්‍රීවරයාගේ කමිසය ඉරී ගියේද, බොත්තම් ගැලවී ගියේද යන්න නිශ්චය කර ගැනීමට නොහැකි වන පරිදි එය විවෘතව තිබිණි.

මේ සියල්ල සාවධානයෙන් බලා සිටි රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා සිය ජංගම දුරකථනයෙන් රූපගත කරනු දක්නට ලැබිණි

මෙම කලබැගෑනියෙන් විනාඩි 45 කට පමණ පසුව යළි පාර්ලිමේන්තුව රැස් විය. අගමැතිවරයා උදෑසන කළ කතාව යළි කිරීමට පක්ෂ නායක අනුමැතිය ලබා ගැනිණි. එහෙත් එම පක්ෂ නායක රැස්වීමට ඒකාබද්ධය හා ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වී නොසිටි බැවින් එම මන්ත්‍රීවරු සභා ගැබෙන් නැඟිට ගියහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »