මොරගහකන්ද රන්දියවර මංගල්‍යය අද

Jan 08, 2018 09.43am
feature-top
ශ්‍රී ලාංකේය වාරි ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කළ මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදුකෙරේ.

පෙරවරු 11.20 ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපතිවරයාගේ සුරතින් මංගල දියවර නිකුත් කරමින් මෙම සුවිශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට තිළිණ කෙරෙන අතර මහ සඟරුවනගේ සෙත් පිරිත් සඡ්ඡායනය මධ්‍යයේ එම කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් නිම කරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිල වශයෙන් භාරගැනීම ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද වේල්ලෙ දී සිදු කිරීමට නියමිත අතර මෙහිදී මොරගහකන්ද හා කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ වාන් දොරටු විවෘත කිරීම ද සිදු කෙරේ. එය රන් දියවර මංගල්‍යය ලෙස හඳුන්වනු ලබන අතර මෙමඟින් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ගොවි ජනතාව වෙත ජලය මුදාහැරේ.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය ක්‍රියාත්මක වන අතර දැනට මෙහි ජල ධාරිතාව අක්කර අඩි 460,000 කි. මෙම ව්‍යාපෘතියේ කළුගඟ වේල්ල මෙම වසර අවසානයේ දී නිම කිරීමට අපේක්ෂා කෙරෙන අතර දෙවන අදියර ලෙස 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය ලබාදීමට කටයුතු කරයි. ඊට අමතරව තෙවන අදියර ලෙස ඉරනමඩුව නගරයට ජලය මුදාහැරීම සඳහා කටයුතු සැලසුම් කරමින් පවතී.

මෙරට විශාලත්වයෙන් හතරවැනි තැන ගන්නා මොරගහකන්ද ජලාශය ප්‍රධාන වේල්ලක් හා සදැලි වේලි දෙකකින් සමන්විත වෙයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 555.7 ක් වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවකට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටිය දී එනම්, 2007 වසරේ ජනවාරි මස 25 දා මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තබන ලදී. කෙසේ වුවද එහි ඉදිකිරීම් කටයුතු 2012 වසරේ දි ආරම්භකර තිබෙන අතර මෙය නූතන යුගයේ දැවැන්ත සංවර්ධන කටයුත්තක් වෙයි.

දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනතාව බොහෝ කලක් පීඩා විඳි ජල ගැටලුව මඟහරවමින් ඉදිකර තිබේ. ඒ සමඟම මෙරට ජාතික විදුලි බල පද්ධතියට මොරගහකන්දෙන් මෙගාවොට් 30 ක විදුලි බලයක් ලැබෙන අතර ව්‍යාපෘතියේ සියලු ප්‍රතිලාභ අනුව වසරකට අපේ රටට ලැබෙන ආර්ථික වාසිය රුපියල් මිලියන 5,000 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.

නකල්ස් කඳු නිම්නයේ සිට වසර ගණනාවක් තිස්සේ අඹන්ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ හරස් කර ඉදි වන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි. ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි ගල් පිරවු ප්‍රධාන වේල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වේල්ලක් මෙන්ම පස්වලින් සැදු වේල්ලක් යන වේලි තුනකින් යුතු එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීමද විශේෂත්වයකි. මේ ජලාශය ඇළහැර පෞරාණික හැරවුම් අමුණට කිලෝමීටර දෙකක් පමණ ඉහළින් අඹන්ගඟ හරහා වේල්ලක් ඉදිකිරීම මඟින් ඉදිකිරීම් සිදුකර තිබේ.

උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර ලක්ෂ 3 ක් අලුතින් අස්වද්දා පුද්ගලයන් ලක්ෂ 15 කට සෙත සලසන පුද්ගලයන් ලක්ෂ 3 කට පිරිසුදු පානීය ජලය ලබාදෙන මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික උනන්දුව හා මෙහෙයවීම මත වේගවත්ව ඉදිකළ අතර එය මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ද ඉතිහාසයට එක්වෙයි.

මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාල වන අතර එය වසර 40 කට පසු මෙරට ඉදිවූ විශාලතම ජලාශයයි. මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු, කුඩා වැව් 2000 කට අලුත් දියවර ලැබෙන අතර ඒ අනුව වයඹ පළාතේ වැව් 303 කට, උතුරුමැද වැව් 1600 කට ජලය ලැබෙයි. ඊට අමතරව නව ලග්ගල හා මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකරන නව නගර හා නව ජනපදවල අලුත් වැව් 48 ක් ද ඉදිකරනු ලැබේ. 


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »