වෛද්‍ය වර්ජනයෙන් රෝගීහු අමාරුවේ
Sep 22, 2017 09.07am

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් රට පුරා රෝහල්වල සිදු කළ වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ගන්නට පැමිණි රෝගීහු දැඩි අපහසුතාවට පත් වූ බව රෝගීහු පවසති.

රෝහල්වල බාහිර රෝගී අංශය, සායන ඇතුළු ප්‍රතිකාර ලබාදෙන අංශවල වෛද්‍යවරුන් මේ වැඩ වර්ජනයට සහභාගි වීම නිසා දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි දහසක් රෝගීන් අපහසුතාවට පත්ව තිබේ. රෝහල්වල ඇතැම් හෙද නිලධාරින්ද, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ද මේ වැඩ වර්ජනයට සහාය ලබාදී ඇත.දුරබැහැර ගෙවාගෙන රෝහල් වෙත පැමිණි රෝගීන්ට හිස් අතින්ම නිවෙස් කරා යාමට සිදු වීම නිසා බහුතරයක් රෝගීන් මානසිකව ද පීඩාවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොළඹ ජාතික රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල පොරොත්තු ලේඛනයන්හි පැවැති සැත්කම් මේ වැඩ වර්ජනය නිසා සිදු නොකිරීම හේතුවෙන් දහස් ගණන් සැත්කම් නතර වූ බවද රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ද වෛද්‍යවරුන් මේ වැඩ වර්ජනයට සහාය ලබාදීම නිසා ආයුර්වේද රෝහල්වල බාහිර රෝගී අංශයේ හා සායනවල ප්‍රතිකාර කටයුතු අඩාල වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සයිටම් ආයතනය වසා දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ තවත් සංගම් කිහිපයක් ඒකාබද්ධව මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබිණි.



(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60