2017 මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරැඹෙයි

Sep 09, 2017 10.16am
feature-top
මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්ෂතා උරගා බලන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙල 29 වැනි වරට අද (9)සහ හෙට(10) පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අැමැති මහින්ද අමරවීර, නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න යන මහත්වරුන්ගේ මගපෙන්වීමෙන් මෙවර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය අද පෙ.ව 8.30 ට  ක්‍රීඩා අැමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සමාප්ති උත්සවය 10 වැනිදා ප.ව 2.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

දිවයිනේ මහවැලි කලාප 10 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 ක් පමණ ක්‍රීඩා උළෙලට සහභාගීවීමට නියමිත අතර ජවන හා පිටිය තරග ඉසව් 41 ක්, කණ්ඩායම් තරඟ 14 ක් සහ කාන්තා සහ පිරිමි පාපැදි තරග 02 ක් ඇතුළු තරඟ ඉසව් 57 කින් මෙවර ක්‍රීඩා උළෙල සමන්විතය.

ශ්‍රී ලංකාවේ ක්‍රිඩා ක්ෂේත්‍රයට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, ක්‍රීඩා නිලධාරීන් මෙන්ම විනිසුරුවන් රැසක් බිහිකළ දිවයිනේ පැරණිතම ක්‍රීඩා උළෙලක් ලෙස මහවැලි ක්‍රීඩා උළෙල හැඳින්විය හැකිය.

මහවැලි කළාප වල ජීවත්වන ජනපදිකයන්ගේ දක්ෂතාවයන් ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමට රැගෙන යෑමේ අරමුණින් මීට වසර 31 කට පෙර එනම් 1986 වසරේදී මෙම ක්‍රීඩා උළෙල ආරම්භ කර තිබේ. කළාප 7 කින් ආරම්භ වූ මහවැලි ක්‍රීඩා උළෙල මේ වන විට කලාප 10 ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ ඉහළින්ම රැඳ වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මහවැලි කෙළිබිමෙන් බිහි වී ඇත.

1986 වසරේ ගල්නෑවේදී ආරම්භ වූ ක්‍රීඩා උළෙල එතැන් සිට 2012 දක්වා අඛණ්ඩව පැවැත්වුණු අතර 2013 සහ 2014 වසරවල ක්‍රීඩා උළෙල අතහැර දැැමිණි. නමුත් නව රජය පත්වීමෙන් පසුව 2015 වසරේ සිට නැවත ක්‍රීඩා උළෙල ආරම්භ කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ උපදෙස් මත මහවැලි දරු දැරියන්ගේ දක්ෂතා ලොවට විවර කරමින් සෑම වසරකම එය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ධාවන ශූරියක් වන ශ්‍රීයානි කුලවංශ මහවැලි එච්. කලාපය නියෝජනය කරමින් ජය ලබා ආසියානු පදක්කම දක්වා පැමිණි අතර ශ්‍රී ලංකා පාපැදි ශූරිය වූ යූ.ඩී. ශ්‍රියාලතා, ශ්‍රී ලංකා ජාතික බොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකා රේණුකා අබේගුණවර්ධන යාපා සහ ශ්‍රී ලංකා කබඩි පිරිමි කණ්ඩායමේ හිටපු නායක විමල් රෝහණ මහවැලි ක්‍රීඩා උළෙල ඔස්සේ බිහිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කිහිප දෙනෙකි.

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ, වික්ටෝරියා කලාපයේ ක්‍රීඩකයකු වන අතර ඔහු මහවැලි කලාපවලින් මෑතකදී බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකි.



අද දෙරණ ඇසුරෙනි

More News »