මහවැලි ඉඩම් ඔප්පු පිරිනැමිම 11දා සිට

Aug 08, 2017 09.24am
feature-top
මහවැලි ජනපදිකයින් දිගුකලක් තිස්සේ මුහුණ පා ගැටලුවකට විසඳුම් ලබාදෙමින් එකවර වැඩිම පිරිසකට නිරවුල් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සනිටුහන් කරන මහෝත්සවය මේ මස 11, 12, හා 18 තෙදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තමන්ට කියා ඉඩමක හිමිකම නිවසක උරුමය හිමිකරදීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මේ මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු ප්‍රදානය කරනු ලැබේ. ඒ අනුව මේ දින තුන ඇතුළත පිරිනමන ඉඩම් ඔප්පු ගණන දොළොස්දහසකි.

ලබන 11 වැනිදා උඩවලව මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු 5000ක් ද 12 වැනිදා තඹුත්තේගම ජනපදිකයින්ට ඉඩම් ඔප්පු 5000ක්ද, 18 වැනිදා දිගහ මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු 2000ක්ද ජනාධිපතිවරයාගේ අතින් ප්‍රදානය කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. මහවැලි ජනපදිකයින්ට තම ජීවිත ආලෝකමත් කරගැනීමට අතමිට සරු කර ගැනීමට අත්වැලක් මේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමත් සමඟ අවස්ථාව උදාවනු ඇත. මහවැලි ව්‍යාපාරය යටතේ නව ගොවිබිම් ලද මහවැලි ජනපදිකයින්ට ඒවායේ නිරවුල් ඔප්පු මෙතෙක් කලක් ලැබී තිබුණේ අත්ළොස්සකට පමණි. මේ අඩුව මකා දමමින් සියලුම මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ. එය මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුවට සැපැයෙන යෝධ දිරිගැන්වීමකි. මේ අන්දමට මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න අමාත්‍යවරුන් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »