අයෝමි පෙරේරාගේ හිත නැවතුණේ කා ළඟද? රණවිරු රියල් ස්‌ටාර් කිරුළට වසර පහයි

Aug 06, 2017 09.51am
feature-top
රසිකයන්ට මගෙන් තිළිණයක්‌

ඇය අයෝමි පෙරේරා. 2012 වසරේ රණවිරු රියල් ස්‌ටාර් ලෙස කිරුළ පළඳින්නට වාසනාවන්ත වූයේ ඇයයි. දක්‌ෂයන් රැසක්‌ අභිබවමින් අති දක්‌ෂ ගායිකාවක්‌ ලෙස ඇය වේදිකාව ආක්‍රමණය කරන්නට සමත් වුණා. ජුලි මස හත් වැනිදාට ඇය රණවිරු රියල් ස්‌ටාර් කිරුළට හිමිකම් කියලා හරියටම වසර පහක්‌ ගතවුණා.

මේ දවස්‌වල නිතර දෙවේලේ හැම තැනකම ඔබේ ගීතයක්‌ ඇහෙනවා ?

ඔව්.... අලුත් ගීතයට ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 'මගේ හිතේ නවතින්න' කියන ගීතය තමයි මේ විදිහට මං අලුතෙන්ම නිර්මාණය කළ ගීතය. මේ ගීතය මට රචනා කරලා දුන්නේ හර්ෂනී කරුණාරත්න අක්‌කා. සංගීතය ප්‍රියන්ත නාවලගේ මහත්මයගෙ. ඇත්තටම මගේ ජයග්‍රහණයෙන් වසර පහකට පස්‌සේ තමයි මේ ගීතය මම මගේ රසිකයන්ට තිලිණ කරන්නේ.

මේ ගීතය ඔබටම ලියෑවුණු ගීතයක්‌ද?

ඇත්තටම හර්ෂනී අක්‌කා මේ ගීතය ලියලා තියෙන්නේ එයාගේ විවාහ සංවත්සරයට එයාගේ සැමියා වෙනුවෙන්. ඉතිං හර්ෂනී අක්‌කගේ ජීවිතේ එයාගේ ඇත්තම ආදර කතාව තමයි ඔය ගීතයෙන් කියවෙන්නේ. කොහොමහරි ප්‍රියන්ත අයියා ඒකට ලස්‌සන මෙලඩි එකකුත් දාලා මට වයිබර් කළා. ඒක ඇහුවම මට හුඟක්‌ ආස හිතුණා. හුඟක්‌ අය මේ දවස්‌වල කරන්නේ දුක හිතෙන ගීතමනේ. මේ ගීතය වෙනස්‌ වගේම ලස්‌සනයි. ඉතිං මට මේ අවස්‌ථාව ලැබිච්ච එකත් වාසනාවක්‌.

දැන් රූප රචනාවත් කරලත් ඉවරයි නේද?

ඔව් මොකද ප්‍රියන්ත අයියා මේ ගීතය මික්‌ස්‌ කරලා ෆයිනල් එක එව්වම මටම ආස හිතුණා හරි ලස්‌සනට තිබුණ නිසා. එවෙලේ මට හිතුණා වීඩියෝ එකත් කරන්නම ඕනෑ කියලා. මෝෂන් ඉෆෙක්‌ට්‌ස්‌ තමයි මේ ගීතය සඳහා වීඩියෝ එක කළේ. මේ වෙද්දී හැම එෆ්. එම්. නාළිකාවකම වගේ ගීතය ප්‍රචාරය වෙනවා. ඔවුන් දක්‌වන සහයෝගය මට ලොකු සතුටක්‌.

ඔබ ටෙලි නාට්‍ය ගී ගායනය සඳහා එක්‌වුණා නේද?

'දියමත ලියමි' ටෙලි නාට්‍යයේ 'හිරුත් නොව නුඹ සඳුත් නොව නුඹ' ගීතය ගයන්නට මට අවස්‌ථාව ලැබුණා. රණවිරු රියල් ස්‌ටාර් ජයග්‍රහණයෙන් පස්‌සේ. මොකද තරගය ජයග්‍රහණය කළාට පස්‌සේ මගේ පළමු නිර්මාණය වුණේ මේ ටෙලි නාට්‍ය ගීතය. ඒ නිසා ඒ ගීතය මට හරිම සුවිශේෂයි.

ඔබ එළිදැක්‌වූ නිර්මාණ ප්‍රමාණය අඩුයි කියලා හිතෙන්නේ නැද්ද?

මම වැඩ කරන්නේ යුද හමුදාවේ ඉංජිනේරු සේවා බළකායේ. ඉතිං ආමි එක නියෝජනය කරමින් තමයි මම තරගයට ඉදිරිපත් වුණේ. ඒ වගේම මේ සියලු කලා කටයුතු කරගෙන යන්නෙත් රාජකාරී වැඩකටයුතු අතරතුරේ. තවමත් මගේ මූලිකම දේ විදිහට මම සලකන්නේ රැකියාව. ඉතිං ඒ කටයුතුවලට බාධාවක්‌ නොවෙන විදිහට තමයි මේ හැමදේම කරන්න මං උත්සාහ කරන්නේ.

ඔබ නිතර විදෙස්‌ සංචාර සඳහා සහභාගි වෙනවා?

ඇත්තටම රණවිරු රියල් ස්‌ටාර් ජයග්‍රහණයත් එක්‌ක මට විදෙස්‌ සංචාර සඳහා නිතර සහභාගි වෙන්න අවස්‌ථාව ලැබුණා. නිතර යෙදුණු විදෙස්‌ ගමන් ඇත්තටම මගේ නිර්මාණ කටයුතුවල යෙදෙන කාලය අඩුකරපු අවස්‌ථා හරියට තිබුණා.

දැන් කොහෙද පදිංචිය?

මං ලබපු ජයග්‍රහණය නිමිත්තෙන් මට ලස්‌සන ගෙයක්‌ තෑගි විදහට ලැබුණා. බත්තරමුල්ල පැළවත්තේ. ඒ ගෙදර තමයි පදිංචිවෙලා ඉන්නේ. මගේ තාත්තා අවුරුදු එකහමාරකට කලින් නැතිවුණා. දැනට අම්මයි මමයි ඒ ගෙදර ඉන්නෙ.

චිත්‍රපට පසුබිම් ගායනයටත් ඔබ එක්‌වුණා නේද?

හර්ෂ උඩකන්දගේ 'ෆේස්‌ ටු ෆේස්‌' චිත්‍රපටයේ ගී ගායනයට එක්‌වුණා. තවත් ප්‍රියන්ත අයියා සංගීතවත් කරපු ෂෙහාන් ගලහිටියාව රචනා කරපු ගීතයක්‌ කළා 'වැස්‌ස තුරල් වෙන තුරු' කියලා. ඉස්‌සරහට අහන්න දකින්න පුළුවන්.

විවාහ වෙන්නේ කවදද?

ඒක කොහොම කොහොම හරි කල් යනවා. හැමදේම ලැබුණා වගේ ඒ දේත් ජීවිතේට ලැබෙයි හරි වෙලාව ආවම.

කොයිවගේ කෙනෙකුට ද කැමති?

කවුරු වුණත් මට සහ මගේ වැඩවලට ආදරෙන් ඉන්න සහයෝගය දෙන මට ලොකු ශක්‌තියක්‌ වෙන කෙනෙක්‌ තමයි මගේ සහකරු වෙන්න ඕන කියලා මං හිතන්නේ.

විවාහ යෝජනා හරියට එනවා නේද?

අනේ ඔවුනේ.....දැන් නං ඇත්තට කරදරේ. අපේ අම්මත් එක එක්‌කෙනා යෝජනා කරනවා. යාළුවෝ නෑදෑයෝ අසල්වැසි සමහර අය විවාහ යෝජනා ගේනවා. දැන් නං මට හිතිලා තියෙන්නේ ටිකක්‌ පාඩුවේ ඉන්න ඕන කියලා මගේ නිර්මාණ කටයුතු එක්‌ක.

විදෙස්‌ සංචාර සඳහා අයෝමිගේ අම්මත් සහභාගි වෙනවද?

මේ වෙද්දී මං රටවල් 20 ට විතර ගිහිං තියෙනවා. ඉන් පුළුවන් හැම අවස්‌ථාවකදීම මං අම්මත් එක්‌කං යනවා. මොකද අම්මත් ඒ දේවල් දකින්න ඕන. මාව මෙතෙනට ගෙනාවේ මගේ අම්මනේ.

ළඟදී කොහෙද යන්නේ?

ඔක්‌තොම්බර් මාසයේ කොරියානු සංචාරයකට සහභාගි වෙනවා. ඒ වගේම සුරේන්ද්‍ර පෙරේරා එක්‌ක සංගීත ප්‍රසංගයකට සහභාගි වෙනවා. මේක විශේෂම දෙයක්‌ මට. මොකද ඒ ප්‍රසංගය පැවැත්වෙන්නේ රණවිරුවන් වෙනුවෙන්.

රඟපාන්න ලැබුණු ආරාධනා ඇයි ප්‍රතික්‌ෂේප කළේ?

දැනට මං ගායනය විතරක්‌ තෝරාගත්තා. මොකද මගේ රැකියාවත් හරියට කරන්න ඕන නිසා. හැබැයි කවදාහරි මං ඒ දේ කරයි කියලා මට හිතෙනවා.

රැකියාවෙන් ඉවත්වෙලා කලා කටයුතුවල විතරක්‌ නිරත වෙන්න හිතුවේ නැද්ද?

නෑ මං කවදාවත් එහෙම කරන්නේ නෑ. මං මගේ රැකියාව බොහොම ආදරයෙන් ගෞරවයෙන් කරන්නේ. ඒ වෙනුවෙන් අනිත් දේවල් මං ප්‍රතික්‌ෂේප කරන්නේ හරිම සතුටින්. අනික මේ හැමදේම මට ලැබුණේ රැකියාව නිසා. ඒ විතරක්‌ නෙමෙයි රාජකාරී ස්‌ථානයෙන් මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක්‌ ලැබෙනවා. ඔවුන් හැමෝටම මං ස්‌තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මට තව වසර හයක්‌ හතක්‌ විතර සේවය කරන්න තියෙන්නේ. ඒ කාල සීමාව සේවය කරලා මගෙන් විය යුතුකම් ඉටුකරලා ඊට පස්‌සේ මං පූර්ණකාලීනව කලා කටයුතුවල නිරත වෙනවා.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »