උසස්‌ පෙළ හදිසි වැටලීම් සඳහා දෙදහසක්...‌
Aug 06, 2017 09.42am

අනිද්දා (8 වැනිදා) ආරම්භ කෙරෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ හදිසි වැටලීම් සඳහා නිලධාරීහු දෙදහසක්‌ යොදවා සිටිති.

විභාග වංචා හා අක්‍රමිකතා වළක්‌වාලීම සඳහා මෙවර විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කෙරෙන අතර බ්ලූටූත්, ස්‌මාර්ට්‌ වොච්, ජංගම දුරකථන වැනි විද්යුත් උපකරණ ළඟ තබාගෙන විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සඳහා වසර පහක විභාග තහනමක්‌ පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මීට අමතරව සටහන් ළඟ තබා ගනිමින් හෝ අන් අයගේ සහය ලබා ගනිමින් විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අත්හිටුවෙයි. උත්තරපත්‍ර ඇගයීමේදී ද එවැනි වංචා හඳුනා ගැනෙන අතර පසුගිය උසස්‌ පෙළ විභාගයේදී ද එවැනි වංචා කළ අයදුම්කරුවන් දෙසීයකගේ ප්‍රතිඵල නතරකෙරිණි. අයදුම්කරුවන්ගේ වංචා හා අක්‍රමිකතා හඳුනා ගැනීම සම්බන්ධයෙන් 25000 ක්‌ පමණ වන විභාග කාර්ය මණ්‌ඩලයට පුහුණුවක්‌ ලබාදී ඇත. හෙට (7 වැනිදා) සවස ද කාර්ය මණ්‌ඩලය පුහුණු කිරීමේ වැඩසටහනක්‌ සැලසුම් කර තිබේ.

විභාගය පැවැත්වෙන පාසල්වලට අවසර නොලත් කිසිදු පුද්ගලයකුට ඇතුළුවීම තහනම් කර ඇති අතර කිසිදු හේතුවක්‌ මත අදාළ පාසලේ ගුරුවරුන්ට ඇතුළු විය නොහැකි බවට විභාග දෙපාර්තමේන්තුව පාසල් ප්‍රධානීන්ට නියෝග කර ඇත. එම නියෝග කඩ කර යම් ගැටලුවක්‌ උද්ගත වුවහොත් විදුහල්පතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන අතර එම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විනයානුකූල කටයුතු කෙරේ.

පිට පළාත් සිසුන් දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් විභාගයට පෙනී සිටීම සම්බන්ධයෙන්ද මෙවර විශේෂ අධීක්‍ෂණයක්‌ සිදුකෙරෙන අතර සැක සහිත විභාග මධ්‍යස්‌ථානවල අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් මෙන්ම නාමලේඛනද පරීක්‍ෂාවට ලක්‌ කෙරේ.

විභාගයට අදාළව සිදුවන කුමන හෝ අක්‍රමිකතාවක්‌ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ 1911, 0112784208 හෝ 0112784537 යන දුරකථන අංකවලට පැමිණිලි කළ හැකි බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

දිවයින පුරා විභාග මධ්‍යස්‌ථාන 2230 කදී පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 315227 ක්‌ පෙනී සිටිති. විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවෝ 260 කි. විභාගය අවසන් වන්නේ සැප්තැම්බර් මස 2 වැනිදාය.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60