අගමැතිට සුබ පතන පාර්ලිමේන්තු විශේෂ සැසිය අද

Aug 04, 2017 09.22am
feature-top
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ පාර්ලිමේන්තු දිවියට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් සුභාෂිංසන පිරිනැමීමේ විශේෂ පාර්ලිමේන්තු සැසිය අද (4) පෙරවරු 10‍.30ට පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදි ගත් තීරණයක් අනුව පැවැත්වෙන මෙම සුභාෂිංසන සැසියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම හවුල්කාර පක්ෂවල නායකයන් පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාට සුභාශිංසන පළ කිරීමේ යෝජනාව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව විපක්ෂ නායක ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා යෝජනාව ස්ථිර කිරීමට නියමිතය.

යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුව අමතනු ලබයි. ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් හා කඳුරට කම්කරු පක්ෂයේ නායක පී.දිගම්බරන් හා ඊ.පී.ඩී.පී.පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද යන පක්ෂ නායකයෝ අදහස් දක්වති.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සුභාශිංසන යෝජනාවේ අවසන් කථිකයා වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්තූතිය පළ කිරීමේ ප්‍රකාශයක් සිදු කරනු ලබයි.

පාර්ලිමේන්තු විශේෂ සැසිය පැය දෙකකට පමණක් සීමා කර ඇති හෙයින් තෝරාගත් පිරිසකට පමණක් අදහස් දැක්වීමට අවස්ථාව ලබා දෙන බවද එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතාගේ මෑණියන්ගේ දානමය පින්කම හේතුවෙන් පාර්ලිමේන්තුවට අද නොපැමිණෙන බව දන්වා ඇතැයි ද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. පාර්ලිමේන්තු භූමියේ පිහිටි බෝධි මළුවේ දී අද පෙරවරු 9.30 ට බෝධි පූජා පින්කමක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »