තිරසර සංවර්ධන වනජීවී ඇමැතිගෙන් මහඟු ආදර්ශයක්

Aug 04, 2017 09.21am
feature-top
තිරසර සංවර්ධන අමාත්‍යංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික උද්භීද උද්‍යාන දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සියලු ආයතනවල සම්පූර්ණයෙන්ම පොලිතින්, ප්ලාස්ටික් වතුර බෝතල් තහනම් කර ඇති බව තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි.

මෙම ආයතන තුළින්, උද්භීද උද්‍යාන, සත්වෝද්‍යාන පරිශ්‍ර තුළත් එම පොලිතින්, ප්ලාස්ටික් තහනම දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නැයි තමන් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද ඇමැතිවරයා පවසයි.

නීති පැනවීම නිසා පමණක් නොව පරිසරයට සොබාදහමට ඇලුම්කරන මිනිසුන් ලෙස සැම දෙනාම පොලිතින්, ප්ලාස්ටික් භාවිතය අත්හල යුතු යැයි ද ඇමැතිවරයා පෙන්වාදෙයි.

‘වනදිවිය’ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය දිනමිණ පුවත්පත හා එක්ව පළ කරන පුවත් අතිරේකයේ වර්ෂ පූර්ණ නිමිත්තෙන් ඊයේ (3) සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දී පැවැති උත්සවයේ දී ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමැතිවරයා මේ බැව් අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසුවේ තම අමාත්‍යංශය හා එයට අනුබද්ධ ආයතන මගින් ගත් මෙම ආදර්ශය මෙරට අනෙකුත් අමාත්‍යංශ මෙන්ම සියලුම පුද්ගලයන්ට ක්‍රියාත්මක කළ හැකි බවයි.

තම අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන තුළ පොලිතින් හා ප්ලාස්ටික් බෝතල ඇතුළු ද්‍රව්‍ය වෙනුවට පරිසරයට හානි නොවන විකල්ප ක්‍රම හඳුන්වාදී ඇති බවත් මේ ආදර්ශයට එක්වී අපේ පරිසරය සුරැකීමට දායක වන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය.

ලොව රටවල් 183ක් සාමාජිකත්වය උසුලන CITES සමුළුව 2019 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවත් ඒ සඳහා 5000කට ආසන්න විද්වතුන් පිරිසක් සහභාගිවීමට නියමිත බවත් පැවැසූ ඇමැතිවරයා මේ සමුළුවේ අරමුණ වනුයේ ලොව වඳවී‍යාමේ තර්ජනයට මුහුණපා ඇති සතුන් හා ශාක ආරක්ෂා කර ගැනීම බව ද අවධාරණය කළේය.

පරිසරය හා වනජීවීන් සුරැකීම අප සැමගේ යුතුකම බවත් මේ පිළිබඳව ජනතාවගේ ‘මනස සෑදීමට මාධ්‍ය තුළින් සුවිශාල මෙහෙවරක් කළ හැකි බවත් පැවැසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වලට මෙන්ම තම අමාත්‍යංශය මගින් දිනමිණ පුවත්පතත් සමඟ එක්ව පළකරන ‘වනදිවිය’ පුවත්පතට ඒ සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි. ලේක්හවුස් ආයතනයේ නව සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ද මේ මාධ්‍ය මෙහෙවරෙහි සුවිශේෂි නියමුවකු වනු ඇතැයි ද සභාපතිවරයා ප්‍රමුඛ මෙහි සියලුම දෙනාද පරිසරය සුරැකීමේ වැඩපිළිවෙළට හොඳ දායකත්වයක් ලබාදෙනු ඇතැයි ද කීය.

මේ අවස්ථාවට තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමැතිනි සුමේධා ජී. ජයසේන, අමාත්‍යංශ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සේනාරත්න, සාමාන්‍යාධිකාරි අභය අමරදාස, අධ්‍යක්ෂ දුෂ්මන්ත බණ්ඩාර බස්නායක මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී විය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »