හම්බන්තොටට අලුත් ගිවිසුමක් නෑ සංශෝධන ඇතුළත් කිරීම පමණයි

Aug 03, 2017 09.09am
feature-top
හම්බන්තොට වරාය ගිවිසුම නැවත අස්සන් නොකරන බවත්, එම ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී අවශ්‍ය සංශෝධන පමණක් ඇතුළත් කිරීමට කටයුතු කරන බවත්, සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ගිවිසුමේ සංශෝධන සිදුකළ හැකි බවට සඳහන් වගන්තිය අනුව මෙසේ අදාළ විවාදයේදී පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් වන සාධනීය යෝජනා සංශෝධන ලෙස ඇතුළත් කිරීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ සිකුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ශෝක යෝජනාව නතර කර, මෙම ගිවිසුම පිළිබඳ දිනක විවාදයක් ලබා දුන්නේ විපක්ෂ කණ්ඩායම්වලින් සාධනීය යෝජනා ඉදිරිපත් වුවහොත් ඒවා ගිවිසුමට ඇතුළත් කිරීම සඳහා යැයි පවසන ඇමැතිවරයා, එහෙත් ඒකාබද්ධ විපක්ෂය අනවශ්‍ය ගැටලුවක් ඇති කොට එම විවාදය කඩාකප්පල් කර දැමූ බවද කියයි. එම නිසා ඒකාබද්ධ විපක්ෂය තමන්ට යෝජනා ඉදිරිපත් කිරීමට ලැබුණු අනගි අවස්ථාව මඟහැර එළියට පැමිණ මාධ්‍ය හමු පවත්වා කුමක් පැවසුවත් පළක් නොවන බවද සඳහන් කරයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (2) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

තමන් ඇතුළු පිරිස 2020දී නැවත බලයට පත්වීමෙන් පසු හම්බන්තොට වරාය ගිවිසුම අහෝසි කර එය ජනසතු කරන බවට බැසිල් රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසූ විට ඇමැතිවරයා පැවැසුවේ, එසේ බලයට පත්වී වරාය ජනසතු කිරීමට මේවා කියන අයගෙන් කීදෙනෙක් 2020 වනවිට ඉඳීදැයි කියා කිව නොහැකි බවයි. එමෙන්ම මෙම ගිවිසුම සම්බන්ධයෙන් තමන්ගේ යෝජනා ඉදිරිපත් නොකර විවාදයෙන් පැන ගියේ ඔවුන් සතුව වැදගත් හා සාධනීය යෝජනා කිසිවක් නොමැති නිසා යැයිද කීය. මෙම ගිවිසුම පසුගිය රජය සමයේ විදේශීය සමාගමකට සින්නක්කරව ඉඩම් ලබා දීමක් නොවන බවත් එමඟින් ශ්‍රී ලංකා රජයට 70%ක කොටස් හිමිව තිබෙන බවත් ය. සියලු ගිවිසුම්වලට විරුද්ධ වන්නේ ආරම්භයේදී බවද, එම ව්‍යාපෘති සාර්ථකවී රටට ආදායම් ලැබෙන විට මේ කිසිම කෙනෙක් කිසිවක් නොකිය බවත් කීය. ඩී.එස්.සේනානායක මහතා ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කළ අවස්ථාවේ එයට ද විරෝධතා එල්ලවූ බව කී ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ එක් පිරිසකගේ සිරිත සෑම දෙයට ම විරුද්ධවීම යැයැද පැවැසීය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »