හම්බන්තොට ගිවිසුමෙන් ඍජුවම ඩොලර් බිලියන 1.12ක්

Jul 31, 2017 09.05am
feature-top
චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගම සමඟ පසුගිය සෙනසුරාදා අස්සන් කළ සහන ගිවිසුම මගින් හම්බන්තොට වරාය සඳහා පැවැති රජයට පැවැති දැවැන්ත ණය බර සැළකිය යුතු ලෙස අඩුකර ගත හැකි වූ බව වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.

ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයේදී ඇමැතිවරයා තවදුරටත් අවධාරණය කළේ වරාය ඉදිකිරීම අරඹා ඇත්තේ බිලියන 193ක වාණිජ ණයකරයක් මත බවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට එම ණය වෙනුවෙන් වාර්ෂිකව ණය ගෙවීම බිලියන 9ක් වූ බව ද පෙන්වා දුන්නේය. ඒ නිසාම අධිකාරිය ලබාගත් ආදායමෙන් 90%ක්ම මේ ණය වෙනුවෙන් වෙන් කිරීමට සිදුවූ බව ද පවසා සිටියේය.

හම්බන්තොට වරායට 2015 වසරේ ආවේ නැව් 19යි. 2016දී නැව් 14යි. 2017 වසරේ ජනවාරියේ සිට ජූනි මස දක්වා නැව් 10යි. පළමු ගිවිසුමෙන් භාණ්ඩාගාරයට කිසිම ආදායමක හිමිකාරිත්වය තිබුණේ නෑ. අලුත් ගිවිසුම අනුව භාණ්ඩාගාරයට ඍජුවම ඇමරිකානු ඩොලර් බිලියන 1.12ක ආදායමක් ලැබෙනවා, යනුවෙන් ඇමැතිවරයා පැවසීය.

මහින්ද සමරසිංහ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත දෙපාර්ශ්වයේම එකඟතාවෙන් නව ගිවිසුමේ ඕනෑම වගන්තියක් වෙනස් කිරීමේ හැකියාව ද ඇති බවයි.

මෙහිදී මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඇ. ඩොලර් බිලියන 1.12ට අමතරව ඇ. ඩොලර් මිලියන 600ක් මේ වරාය නවීකරණය සඳහා වැය කෙරෙන බව කියා සිටියේය. ඍජු මෙන්ම වක්‍ර රැකියා ලක්ෂ 3 – 4ක් බිහි වන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එසේම චීන ආයෝජකයන් පමණක් නොව ඉන්දියාව, යුරෝපය, ජපානය සහ තවත් රටවල්වලට ආයෝජන අවස්ථා උදාකරන බව ද සමරවීර මහතා අවධාරණය කළේය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »