සුව ඇමැති GMOA ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි

Jul 19, 2017 09.04am
feature-top
සෞඛ්‍ය ඇමැතිවරයා වෛද්‍යවරුන් පිරිසක් එක් කර ගනිමින් නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරේදා (17) කළ ප්‍රකාශය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රතික්ෂේප කරයි.

නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ වුවද ඊට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කර සිටී. වෘත්තීය සමිති ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලබන්නේ වෛද්‍යවරුන් මිස සෞඛ්‍ය ඇමැතිවරයා නොවන බවත් මෙය ප්‍රථම වතාවට සිදු වන කර්තව්‍යයක් නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඒකාබද්ධව වි‍ශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයක් බිහි කර ගත් බව සෞඛ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් බිහි කර එහි උත්සවයකට ආරාධනා කළ විට තමන් ඊට සහභාගී වන බවත් සෞඛ්‍ය ඇමැතිවරයා කියා සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඕනෑම වෘත්තීය සමිති ව්‍යාපාරයක් තම සංගමයේ රැස්වීම් සඳහා ආරාධනා කළ විට තමන් ඊට සහභාගී වන බව පෙන්වා දෙන සෞඛ්‍ය ඇමැතිවරයා මීට මාස 02කට පෙර හෙද සංගම් 02ක උත්සව එකම දිනයක දී යෙදී තිබුණ බවත් ඊටද තමන් සහභාගී වූ බව අවධාරණය කර සිටී.

වෛද්‍ය සංගම්වල ගැටලු විසඳා ගැනීම ඔවුන්ගේ ක්‍රියාදාමයක් බවත් වෛද්‍ය සංගම්වල මතුව ඇති භේද හේතුවෙන් නව වෘත්තීය සමිති ව්‍යාපාර බිහි විය හැකි බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි. එම නිසා නව සංගමයක් බිහි කිරීමේ වැඩපිළිවෙළට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවට සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කර සිටී.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »