මාස හයකදී පැමිණිලි 1600ක්

Jul 18, 2017 09.20am
feature-top
අන්තර්ජාලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් මේ වසර ආරම්භයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ පැමිණිලි 1,600 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පවසයි.

මෙයින් සියයට අසුවක් පමණ පැමිණිලි ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස් බුක් ගිණුම්වලට අදාළව වන අතර අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අ‍ලෙවි කිරීමේ කිරීමේ නිරත ආයතන ලෙස පෙනී සිටිමින් කූට ලෙස මුදල් වංචා කිරීම් සම්බන්ධ පැමිණිලි කිහිපයක් ද ලැබී ඇතැයි එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පෙන්වාදෙයි.

අන්තර්ජාලය ඔස්සේ සේවා ලබා ගැනීමට යොමු වීමේ දී තමන් ගනුදෙනු කරන්නේ ව්‍යාජ පුද්ගලයන් සහ ආයතන සමඟ නොවන බවට මුලින්ම තහවුරු කර ගන්නා ලෙස ද චන්ද්‍රගුප්ත මහතා ඉල්ලීමක් කරයි. මීට සති කිහිපයකට ඉහත දී බ්‍රිතාන්‍ය, යුක්රේනය ඇතුළු රටවල් කිහිපයකට එල්ල වු පරිගණක වෛරසයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් වු බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයි ද ඒ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් තම සංසදය නිරතුරු අවධානයෙන් සිටින බවද සැක සහිත ඉ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම මෙන්ම තම පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොනු පිංතූර දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීමත් (backup) වඩාත් ආරක්ෂාකාරී උපක්‍රමයක් බවද පෙන්වාදෙන ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයා එසේම තම පරිගණකයේ ස්ථාපිත කර තිබෙන ප්‍රති වෛරස මෘදුකාංගය (Virus Guard) නිරන්තරයෙන් යාවත්කාලීන කර ගැනීමෙනුත් පරිගණකය වෛරස වලට ලක්වීම බෝහෝවිට වළකා ගැනීමට හැකිවන බවද සඳහන් කරයි.

www.cert.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි යැයි කියයි.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »