ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන අදියර බස්නාහිරින්

Jul 14, 2017 09.14am
feature-top
අපිම අරඹමු ඩෙංගු දුරලමු' යන තේමාව යටතේ රජය මගින් අරඹා ඇති දීප ව්‍යාප්ත ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවැනි අදියර හෙට (15) ප්‍රජා මූල සංවිධානවල සහාය ඇතිව බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක ක්‍රියාත්මක වේ. ඒ අනුව මේ ‍ඩෙංගු මර්දන වැඩසටහන දෙහිවල, මහරගම, කොළොන්නාව, රත්මලාන, මොරටුව, කඩුවෙල, කෝට්ටේ, නු‍ගේගොඩ, බත්තරමුල්ල, ගම්පහ, මීගමුව, ජා ඇල, කැළණිය, වත්තල, අත්තනගල්ල, බියගම, රාගම, මිනුවන්ගොඩ, මහර, පානදුර, බේරුවල හා කළුතර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෝටඨාස කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන අතර හෙට (15) පෙ.ව. 10.00 සිට 12.00 දක්වා එම ස්ථානවල සිට එම වැඩසටහන් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ මෙරට සියලුම විද්‍යුත් නාලිකා ඔස්සේ මුළු රටටම විකාශනය කෙරේ.

ජනාධිපති කාර්ය සාධක බළකාය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව අපිම අරඹමු ඩෙංගු දුරලමු ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සංවිධාන කරයි.

ජාතික ව්‍යවසනයක්ව පවතින ඩෙංගු උවදුර මෙරටින් තුරන් කිරී‍මේ අරමුණින් ඉකුත් 12 වැනි දින ඇරඹූ මෙම මර්දන වැඩසටහන අදියර තුනක් යටතේ පැවැත්වේ.

පුරවැසියන්ගේ සහ ප්‍රජා මූල සංවිධානවල සහයෝගය ඇතිව හෙට (15) දින පැවැත්වෙන්නේ මෙම ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවැනි අදියරයි. මෙම වැඩසටහනේ තුන්වැනි අදියර ලබන 19 වැනි දින පාසල් සහ කාර්යාල ඉලක්ක කරගෙන පැවැත්වේ.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »