සමන්ත විද්‍යාරත්න උමාඔය වැඩ නවත්වන්නැයි තර්ජනය කළා

Jul 04, 2017 09.34am
feature-top
උමාඔය ව්‍යාපෘතියෙන් හානියට පත් බණ්ඩාරවෙල නිවාස ඊයේ (03) දින උදේ නිරීක්ෂණයක යෙදී සිටියදී ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා නිවසක් තුළදී තර්ජනාත්මකව මේ ව්‍යාපෘතිය නවතා දමන බවට පිළිතුරක් ගැනීමට උත්සාහ කළ නිසා කළබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත රැස්වීම නවතා දැමූ බව මහවැලි රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

බණ්ඩාරවෙල වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමැතිවරයා එසේ පැවැසීය.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවැසීය.

මම අද උදේ බණ්ඩාරවෙලට ඇවිත් උමග නිසා හානියට පත්වූ නිවාස බලන්න ගියා. පාසල් දෙකක් නිරීක්ෂණය කළා. ගෙවල් කිහිපයක් බැලුවා. ඒ අතරතුර ඌව පළාත් සභාවේ ජේ.වී.පී. මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නත් මා එක්ක ගෙවල්වලට ගියා. මම සමඟ හොඳට ගිය සමන්ත කැඩී ගිය ගෙයකට මාව ගෙන්නාගෙන ගොස් මට තර්ජනාත්මකව කියා සිටියේ උමාඔය ව්‍යාපෘතිය නවත්වන බවට ප්‍රකාශයක් දෙන්න කියලයි. මට එහෙම මේක නතර කරන්න කියලා කියන්න බෑ. මේක නතර කරනවද කරගෙන යනවාද කියලා කියන්නේ විශේෂඥයන්. ඒ අය ඇවිත් දෙන උත්තරයට කටයුතු කරන බව මා කීවත් එතැන හිටිය අය පිළිගත්තේ නෑ. සවස 2.30ට තියෙන රැස්වීමේදී මේ ගැන කතා කරමු කියලා මා කීවත් ඒවා ගණන් ගත්තේ නෑ.

එතැන ජේ.වී.පී. පාක්ෂිකයන් පිරිසක් තමයි හිටියේ. ඒ අය මට එළියට එන්න දුන්නෙත් නෑ. මගේ බෙල්ල මිරිකලා හරි උමාඔය ව්‍යාපෘතිය නතර කරනවා කියන වචනය මගෙන් ගන්නයි බැලුවේ.

මේ තත්ත්වය නිසා සවස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම පැවැත්වීම අපි නතර කරනවා. කොළඹ සිට නිලධාරින් කැඳවලා රැස්වීම කරනවා.

රැස්වීම කඩාකප්පල් කරන්න සමන්ත විද්‍යාරත්නගේ පිරිසක් ඇවිත් ඉන්න බවත් අපි දන්න නිසා රැස්වීම අද නතර කරනවා. නිලධාරින් සහ අපිව අසීරුතාවට පත්කරන්න ජේ.වී.පී. ක්‍රියාකාරීන් කටයුතු කරන්න ඉන්නවා.

කැබිනට් මණ්ඩලය තමයි අපි තුන්දෙනෙක්ව වයාපෘතිය ගැන සොයා බලන්න පත් කළේ. පසුගියදා පැවැති උද්ඝෝෂණයටත් කලින් තමයි මේ පත්වීම් කළේ.

අපි බණ්ඩාරවෙලට ගියේ දේශපාලන කෝණයකින් බලන්න නොවෙයි. මම මෙතනට ආවේ මේක ව්‍යාපෘතිය නවතා දමන ලෙසට කටඋත්තර දෙන්න නොවෙයි.

විදේශීය විශේෂඥ කණ්ඩායම ඇවිත් ඒක තීරණය කරයි.

අපි රජය හැටියට මේ වනවිට විනාශ වූ ගෙවල්වලට රුපියල් මිලියන 197 දශම 6ක් වන්දි ගෙවුවා. මිලියන 352ක් ජල ව්‍යාපෘතිවලට වැයකර ඉදිකිරීම් කරනවා. ජල ටැංකි 4015ක් නිවාසවලට දුන්නා. මිලියන 370ක් ගොවීන්ට වගා හානිවලට දුන්නා.

පැය 24 පුරා බණ්ඩාරවෙලට ජලය දෙන්නත් ව්‍යාපෘති අපි හදනවා. විනාශ වූ නිවාසවලට සහ වගාබිම්වලට තවත් අපි වන්දි දෙනවා.

අපි රජයක් හැටියට ජනතාවට වන්දි ලබාදී මේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යනවා ද නැද්ද කියලා සොයා බලන්න තමයි විදේශීය විශේෂඥයන්ගේ සහය ලබාගන්නේ. ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය විධියට මේ ප්‍රශ්න විසඳන්න බැරි බව ඇමැතිවරයා කීය.

මේ මාධ්‍ය හමුවට වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා, නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා ඇතුළු දේශපාලඥයන් රාජ්‍ය නිලධාරීහු රැසක් මේ අවස්ථාවට පැමිණ සිටියහ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »