කල්ලි නායක සමඟ පහක් අත්අඩංගුවේ

Jul 04, 2017 09.33am
feature-top
පසුගිය 26 වැනිදා කඩවත රාගම ප්‍රදේශයේ පෞද්ගලික වෙළඳ සැලකට ගෙන යමින් තිබියදී කොල්ල කරුවන් පිරිසක් විසින් කොල්ල කන ලද රුපියල් ලක්ෂ අසූවකට ආසන්න මුදල් තොග ය කොල්ල කෑ ප්‍රබල කොල්ල කල්ලි නායකයකු වූ එස් ‍එෆ් ජගත් නැමැත්තා ඇතුලු‍ එම කල්ලියේ පස් දෙනකු අත් අඩංගුවට ගත් පොලීසිය එසේ කොල්ල කන ලද මුදලින් කොටසක්දපෙරේදා අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම කොල්ල කෑමට යොදා ගත් මෝටර් රථය සමඟ අවි ආයුධ කොටසක්ද සොයා ගත් බව පොලීසිය පවසයි.

ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්, පතොරොම් 76 , පතරොම් ගැබි දෙකක් ජංගම දුරකතන 8ක්, ව්‍යාජ අංක තහඩු දෙකක් සහ රුපියල් හතලිස් ලක්ෂ පනස් එක් දහසක්ද මෙසේ සොයා ගත් භාණ්ඩ අතර වෙයි.

මෙම කොල්ල කෑම සිදු කළ කොල්ල කල්ලිය මෙහෙයවා ඇත්තේ එස් එෆ් ජගත් නැමැති ප්‍රබල කොල්ල කල්ලි නායකයා වන අතර මොහුට මෙම කොල්ලය කෑම සඳහා සහයෝගය ලබා දී ඇත්තේ එම ව්‍යාපාරික ආයතනයේ සේවය කරන‍ සේවකයකු බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. තවද මොහු කාලයක් හමුදා සේවයේ සිට ඉන් පළා ආ අයකු වන අතර සේවයේ සිටින එක් හමුදා සාමාජිකයෙක් සහ සේ‍වයෙන් පළා ගිය තවත් හමුදා සාමාජිකයෙක් ඇතුලු හමුදාවේ තිදෙනෙක් මෙම කොල්ල කල්ලියේ සිටිති.

පසු ගිය 26 වැනි දින පෙරවරුවේ වෑන් රථයකින් ඉහත සඳහන් මුදල් තොගය අදාල ‍පුද්ගලික ව්‍යාපාරික ආයතනය වෙත ගෙන යමින් තිබියදී එම රථය ලුහු බැඳගොස් ඇති මෙම කොල්ල කල්ලිය ගිනි අවි පෙන්වා බිය වද්දා මුදල් කොල්ල කා පළා ගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙම කොල්ලය වාර්තා වීමත් සමඟ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වහාම කොල්ල කල්ලිය අත් අඩංගුවට ගැනීමට අදාළ පොලිස් ඒකකවලට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව පෑලියගොඩ කොට්ඨාශ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය, බස්නාහිර පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සහ රාගම පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුම්වල ප්‍රතිපලයක් වශයෙන් මෙම කොල්ල කල්ලිය අත් අඩංගුවට ගෙන එම කොල්ලයේ සුළ මුල සමග සියල්ල හෙළි කර ගැනීමට හැකි වී ඇත.

මෙසේ අත් අඩංගුවට ගන්නා ලද කොල්ල කල්ලි සාමාජිකයන් සහ අදාළ භාණ්ඩ ඊයේ මීගමුව ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම සැකකරුවන් වත්තල, රාගම සහ වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පෑලියගොඩ කොට්ඨාශ විශේෂ මෙහෙයුම් ඒකකය, බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා සමග කැලණිය ප්‍රධාන පොලිස් අධිකාරී උපාලී ජයසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.සී.රවීන්ද්‍ර ඇතුලු පොලිස් නිලධාරින් කණ්ඩායමක් මෙම මෙහෙයුම් සිදුකර කොල්ලය සිදුවී සතියක් ගත වීමටත් පෙර එම කල්ලිය අත් අඩංගුවට ගෙන සියලු තොරතුරු හෙළි කර ගැනීමට සමත්විය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »