සයිටම් ගැන ෂෙරීෆ්ඩීන් කමිටු වාර්තාව

Jul 03, 2017 10.03am
feature-top
කාලෝගේ සහ වෛද්‍ය සංගමයේ බලපෑම මත වෙනස් කළා

මාලඹේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ මෙහෙයවීමෙන් පත් කළ මහචාර්ය ෂෙරීෆ්ඩීන් කමිටු වාර්තාවේ අවසන් පිටුව මහචාර්ය කාලෝ ෆොන්සේකාගේ හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ බලපෑම මත වෙනස් කළ බව සමාජ සුබ සාධන,සවිබල ගැන්වීමේ හා උඩරට පුනරුත්ථාපන ඇමැති එස්.බී දිසානායක මහතා පවසයි.

අදාළ වර්තාව මගින් මෙම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටව යන ළමයින්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදී ඔවුන්ට වෛද්‍යවරුන් ලෙස වැඩ කිරීමේ අයිතිය ලබාදිය යුතු බවට නිර්දේශ කර තිබූ නමුත් අදාළ බලපෑම් හේතුවෙන් එහි අවසන් පිටුව සම්පූර්ණයෙන්ම වෙනස් කර ප්‍රසිද්ධ කළ බවද ඒ මහතා කීය.

මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා පෙරේදා (01) ඒ බව ප්‍රකාශ කළේය.

නිදහස් අධ්‍යාපන ශක්තිමත් කිරීම සඳහා තමන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පසුගිය රජය සමයේ පියවර රැසක් ගත් බවත් රජයේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසු ප්‍රමාණය 17000 සිට 27000 දක්වා වැඩි කිරීමට එම කාලය තුළ තමන් කටයුතු කළ බවත් කී ඒ මහතා එම සංඛ්‍යව 50000 ක් දක්වා ඉහළට ගෙන යෑමට තමන් සැලසුම් කළ බවද අවධාරණය කළේය.

ඉංජිනේරු උපාධිය ලබාදීම සඳහා ආයතන 08 ක් සඳහාත් කළමනාකරණ උපාධිය සඳහා තවත් ආයතන 11 ක් සඳහාත් තම කාලයේ බලය ලබාදුන් බවත් මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැසට් කළේද තම නමින් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී දළදා මාලිගාවේ බෞද්ධ ඇකඩමිය සඳහා උපාධි පිරි නැමීමේ බලය ලබාදුන්නේද තම කාලයේ බවත් මේ සියල්ල සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ සම්පූර්ණ සහය හිමිවූ බවත් ඇමැතිවරයා කීය.

වසරකට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ළමයින් ලක්ෂ තුනක් අතරින් සිසුන් 175000 ක් පමණ සමත් වන බවත් ඒ අතරින් විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම් ලබන 27000 ක් පමණ වන පිරිස හැරුණු කොට තවත් ළමයින් 8000 ක් පමණ පෞද්ගලික ආයතන මගින් උපාධිය ලබා ගැනීමට ලියාපදිංචි වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

විදේශ රටවලට ගොස් වෛද්‍ය උපාධිය ලබා ගැනීමටද ළමයින් සැලකිය යුතු පිරිසක් යොමුවන බවද හෙතෙම අවධාරණය කළේය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කළේ ඉතාම නිවැරදි හා නිත්‍යානුකූල පදනමක් යටතේ බවත් ඊට සියලුම වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්ගේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය හිමිවූයේ වට 18 ක පමණ පරීක්ෂාවකින් පසුව බවද ඇමැතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් ගැටලු මතුවූ අවස්ථාවේ ඒ පිළිබඳ සොයා බැලීමට වෛද්‍ය සභාව මගින් පත් කළ මහචාර්ය ෂෙරීෆ්ඩීන් කමිටුව සාධාරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් සකස් කර බාර දුන් නමුත් මහචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ හා වෛද්‍ය සංගමයේ බලපෑම් මත එම වාර්තාව විකෘති කර ඉදිරිපත්වූ බවද දිසානායක මහතා කීවේය.

වෛද්‍ය සභාව මෙම සිසුන්ට ලියාපදිංචිය නොදෙන්නේ නම් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමේ හැකියාව සෞඛ්‍යඇමැතිවරයා සතු බවත් මෙයට ප්‍රථම රේණුකා හේරත් හා ෆවුසි සෞඛ්‍යය ඇමැතිවරුන් ලෙස එවැනි තීන්දු ගෙන තිබෙන බවත් කී ඒ මහතා වත්මන් සෞඛ්‍යය ඇමැතිවරයා එවැන්නකට නොගොස් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් අනුගමනය කරමින් ඒ පිළිබඳ තීන්දුවක් දීමේ වගකීම අධිකරණයට යොමු කළ බවද ප්‍රකාශ කළේය.

වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන් අතරින් 95 % ක් වෛද්‍යවරුන් වෛද්‍ය සංගමයේ මෙම අසාධාරණ තීන්දුවලට එරෙහි බවත් සංගමයේ 200 ක් පමණ නියෝජිතයින්ගේ අවශ්‍යතාව මත මෙය සිදුකෙරෙන බවත් ඒ මහතා කීවේය.

මෙම සිසුන්ට සායනික පුහුණුව මදි නම් එය ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතු බවත් රජය මැදිහත්වී එය ලබා දීමට පසුබිම සකසද්දී වෛද්‍ය සංගමය එයට ඉඩ නොදී පසුව සිසුන්ගේ සායනික පුහුණුව මදි කියා ප්‍රකාශ නිකුත් කිරීම කනගාටුවට කරුණක් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මාලඹේ වෛද්‍ය විද්‍යාල සිසුන්ට සායනික පුහුණුව මදි නම් ඊට සම්පූර්ණයෙන් වගකිව යුතු වන්නේ වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය බවද හෙතෙම අවධාරණය කළේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍යය නොමැති නම් පෞද්ගලික චැනල් සේවයද අහෝසි කළ යුතු බව වෛද්‍ය සංගමය පිළිගත යුතු බවත් රජයේ මුදලින් ඉගෙන ගෙන වෛද්‍යවරුන්වූ පසු මේ අය තවත් වෛද්‍යවරුන් බිහිවීම වළක්වා ඇති තරම් චැනල් සේවයෙන් මුදල් සෙවීමට යොමු වන බවත් කී ඒ මහතා චැනල් සේවය නවත්වා රජයේ රෝහල් වල අසරණ රෝගීන්ට සේවය කිරීමට මේ අය සූදානම් නම් ඔවුන්ට අතිකාල ලබාදීමට රජය සූදානම් බවද අවධාරණය කළේය.

ජනතා විමුක්කි පෙරමු‍ණේ සාමාජිකයින්ගේ දරුවන් පවා පෞද්ගලික විශ්වවිද්‍යාල වල අධ්‍යාපන ලබන බවත් මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරුන් සියයකගේ පමණ දරුවන් අධ්‍යාපනය ලබන බවත් ඒ මහතා කීය.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »