නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීම තීන්දුයි

Jun 28, 2017 09.34am
feature-top
සයිටම් ආයතනය ගැන විකල්ප යෝජනා 3ක්

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සඳහා වූ කැබිනට් අනුමැතිය අමාත්‍ය මණ්ඩලයේ දී ඊයේ (27) හිමි වූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා පවසයි. මේ කැබිනට් අනුමැතිය ලැබීමත් සමඟ නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා ඊයේ (27) මේ බව පැවැසීය.

සයිටම් ආයතනයෙහි ගැටලුව විසඳීම සඳහා මේ වන විට ක්‍රමවේද 3ක් ඉදිරිපත්ව ඇති බවත් එම ආයතනය පුණ්‍ය ආයතනයක් බවට පත් කරනවාද, රාජ්‍ය පෞද්ගලික සහයෝගීතා ආයතනයක් බවට පත්කරනවාද, සියයට 51ක් කොටස් රජයට පවරාගෙන ඉතිරි සියයට 49 කොටස් වෙළෙඳ පොළට පවරනවාද යන්න තීරණය කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ගන්නා තීරණයේ දී කිසිදු පාර්ශ්වයක් අගතියට පත් නොකරන ආකාරයේ තීරණයක් ගන්නා බවත් හොඳම සාධාරණ විසඳුම මේ සඳහා රජය ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා කීය. වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම සඳහා සයිටම් පෞද්ගලික ආයතනය බිහි වූවද රජයේ වෛද්‍ය පීඨවලට කිසිදු හානියක් නොකරන බවත් එම වෛද්‍ය පීඨවලට පහසුකම් ලබාදීම වාර්ෂිකව ඉහළ නංවා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ද එක්විය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »