මහල් ගොඩනැගිල්ල බිමට සමතලා වීමෙන් අයෙක් මරුට

May 19, 2017 10.27am
feature-top
පොලීසිය-යුද හමුදාව-ගිනි නිවීම් සේවා මුදා ගැනීමේ මෙහෙයුමක

වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පැවති මහල් හතක ගොඩනැගිල්ලක් කඩාවැටීම හේතුවෙන් ෙම් වන විට පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ රාත්‍රී 8.00ට පමණ මුදාගත් පුද්ගලයකු ජාතික ෙරා්හලට අැතුළත් කිරීෙමන් පසු මිය ගිය බව ජාතික ෙරා්හලේ ප්‍රකාශකයෙක් දිනමිණට පැවසීය. තවත් පුද්ගලයන් දෙදෙනකු සුන්බුන් අතර සිරවී ඇතැයි සැක කරයි.

සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ ඉදිකෙරෙමින් තිබෙන ගොඩනැගිල්ලක කොටසක් මෙලෙස කඩාවැටීමට ලක්ව ඇති අතර ඊයේ (18) පෙරවරු 10.35 ට පමණ එය කඩාවැටී තිබෙන බවද තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. තුවාලකරුවන් 11දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර තවත් 12 කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන අතර තවත් එක් අයකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. මෙලෙස තුවාල ලබා තිබෙන්නේ එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කළ සේවකයන් පිරිසකි.

අනතුරට ලක්වූවන් මුදා ගැනීමේ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව, ගිනි නිවීම් සේවා ඒකකය ඇතුළු කණ්ඩායම් කිහිපයක් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලද අතර ඒ අවස්ථාවේ ඇඳහැළුණු ධාරානිපාත වාර්ෂාව ද නොතකා මෙම මුදා ගැනීමේ කටයුතුවල ඔවුන් නිරත වූහ. තවත් පිරිස් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවී සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ව බේරා ගැනීම සඳහා මෙහෙයුම් ඇරැඹි අතර එම ගොඩනැගිල්ල කඩාවැටීමෙන් අනතුරුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද ඇති විණි.

එම ගොඩනැගිල්ලේ මුහුද දෙසට වන්නට පිහිටි කොටසක් මෙලෙස කඩා වැටීමට ලක්ව තිබෙන අතර එම ගොඩනැගිල්ලේ බිම් මහල වාහන අංගනයකින් ද පළමු සහ දෙවැනි මහල් දෙක උත්සව ශාලාවන්ගෙන් ද සමන්විත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් ගිලන් රථ 15කට ආසන්න සංඛ්‍යාවක් සහ ගිනි නිවීම් රථ දෙකක් පමණ යොදවා තිබෙන අතර සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සඳහා බැකෝ යන්ත්‍ර යොදාගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කීය. ගොඩනැගිඟිල්ල කඩාවැටීම හේතුවෙන් වාහන කිහිපයකට ද හානි සිදුව තිබේ.

මේ ගොඩනැගිල්ල එකවරම බිමට කඩා වැටුණු බවට සිද්ධිය ඇසින් දුටුවන් පවසති. සැවෝයි සිනමා ශාලාව අසල පිහිටි උත්සව ශාලාව කඩා වැටීම නැරඹීමට නොඑන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කළ අතර එසේ නැරඹීමට පැමිණීමෙන් සහන සේවා කටයුතු ක්‍රියාත්මක කිරීමට අපහසු වන බවද පැවසීය. උදෑසන කාලයේ දී මෙම ස්ථානයේ ජනතාව විශාල ගැවසීමක් සිදුනොවන හෙයින් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් අවම වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

කෙසේ වුවද මෙලෙස කඩාවැටුණු ගොඩනැඟිල්ල ආසන්නයේ පිහිටි අනෙක් ගොඩනැඟිල්ල ද කඩා වැටීමට අවදානමක් පවතින බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »