සියවස් ගණනකට පසු ප්‍රථමවරට ගෝලීය ආර්ථික බලය ආසියාව දෙසට

May 16, 2017 09.26am
feature-top
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය සහ දේශපාලන නායකයන් බෙයිජිං නුවර යැංඡි විල නිකේතනයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (15)පැවැති එක් තීරයක්. එක් මාවතක් මහා සමුළුවේ ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාව.

 ශත වර්ෂ ගණනාවකට පසු පළමු වතාවට ගෝලීය ආර්ථික බලය යළිත් වරක් ආසියාව වෙත කේන්ද්‍රගත වෙමින් පවතින පසුබිම මත ශ්‍රී ලංකාව උත්සාහ ගන්නේ බොහෝ රටවල් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි සිය භූගෝලීය පිහිටීම පාදක කර ගනිමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

චීනයේ බෙයිජිං නුවර යැංඡි විල නිකේතනයේ ඊයේ (15) පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එක් තීරයක් – එක් මාවතක් මහා සමුළුවේ ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවේ දී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

කලාපයේ ආර්ථික වර්ධනයට හා සමෘද්ධියට පදනම වන්නේ ඉන්දීය සාගරයේ නිදහස් නාවුකගමනය බැවින්, මේ ප්‍රයත්නයේ සාර්ථකත්වය රදා පවත්නේ ඉන්දීය සාගරයේ තිරසර සාමය හා ස්ථාවරත්වය මත බවත් ඒ නිසා සාමකාමී හා හමුදා නොවන සම්බන්ධතා දිරිගැන්වීම සහ බාධාවකින් තොරව බහුපාර්ශවික වෙළඳ කටයුතු හුදු වාණිජමය පදනමකින් පවත්වාගෙන යාම සහතික කිරීම වැදගත් වන බවත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සම්මුතිවාදී ජාතික ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වීම නිසා රටේ සියළු ජනතාවට ආර්ථික වර්ධනය හා සමෘද්ධිය ලබා ගැනීමේ පදනම සැකසී ඇති බව ද, ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ ලාංකේය අභිලාශය මුදුන් පත් කර ගැනීම සඳහා එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය යටතේ ප්‍රතිලාභ සැලසෙන බව ද පැවසීය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »