එජාපයේ මැයි රැලියට කිසිදු රාජ්‍ය දේපළක් බෑ

Apr 27, 2017 09.30am
feature-top
කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ ජාතික මැයි රැළියට කිසිදු රාජ්‍ය දේපලක් , රජයට අයත් සම්පත් හෝ රජයේ නිලධාරින් යොදවා නොගන්නා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින රැළියේ සංවිධායක කමිටුවට උපදෙස් දී තිබේ.

එසේ ම මැයි දින රැළිය සඳහා ආසන මට්ටමෙන් කරන ප්‍රචාරක කටයුතු සඳහාද  රාජ්‍ය දේපල සහ සම්පත් යොදවා ගැනීම අගමැතිවරයා විසින් තහනම් කර තිබේ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති, ජාතික යොවුන් පෙරමුණ, එක්සත් ලක් වනිතා සංවිධානය, වෘත්තියවේදින්ගේ සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන විශාල සංඛ්‍යාවක සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මැයි දිනය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව සන්නිවේදන බලකා අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර මහතා පැවසීය.

ලක්ෂයට අධික ජනතාවක් රැළියට සහභාගි කර ගැනිමට පක්ෂය කටයුතු කළද එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට ලක්ෂ තුනකට අධික ජනතාවක් සහභාගි වනු ඇති බවත් කොළඹ නගරයේ පැවැත්වෙන වැඩිම ජන සහභාගිත්වයක් සිදු වන මැයි දින රැළිය බවටත් පත් වන බවද සුදත් චන්ද්‍රසේකර මහතා කීය.

දිනන ජනතාවගේ මැයි දින රැළිය යන තේමාව යටතේ කොළඹ කැම්බල් පිටියේදී එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »