නුවර විදුහලක වහලය සිසුන්ගේ හිසමතට

Mar 31, 2017 09.41am
feature-top
ගුරුවරයෙක්- සිසුහු 21ක් තුවාල ලබති

මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ සිරිමල්වත්ත මහ විදුහලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් අධ්‍යාපනය ලබමින් සිටි ගොඩනැඟිල්ලේ වහලයේ ‍කොටසක් ඊයේ (30) පෙරවරු 10ට පමණ කඩා වැටීමෙන් ගුරුවරයකු සහ සිසුන් 21 දෙනකු තුවාල ලැබ ඇත.

සිසුන් සිව්දෙනකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ගොඩනැඟිල්ලේ වහලය කඩා වැටෙන අවස්ථාවේ සිසුන් මෙවර වාර විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියමින් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම විදුහල්පතිවරයා ප්‍රතික්ෂේප කළේය.

තුවාලකරුවන් මහනුවර හා යක්ගහපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබේ. මහනුවර මහරෝහලේ ළමුන් 13දෙනකු ප්‍රතිකාර ලබන අතර යක්ගහපිටිය රෝහලට ඇතුළත් කළ ගුරුවරිය හා ළමුන් ප්‍රතිකාර ගෙන ඊයේ (30) දහවල් රෝහලින් පිටව ගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගොඩනැඟිල්ලේ සිසුන් 43දෙනකු සිට ඇති බව වාර්තා වෙයි.

දශක ගණනාක් පැරණි මෙම ගොඩනැඟිල්ලේ වහලය බෙහෙවින් අබලන්ව තිබී ඇති අතර දිරාපත් වූ වහලයේ මුදුන් ලීයට මුක්කු ගසා තිබූ බව මවුපියෝ පැවසූහ.

අනතුරින් තුවාල ලැබ මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය හා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යය සරත් ඒකනායක මහතා ඊයේ (30) දහවල් රෝහලට ගොස් ඇත.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »