රටේ මූල්‍ය විනය අන්තර්ජාතිකව ඇගයීමට ලක්වීමක්

Mar 27, 2017 09.04am
feature-top
ද බෑන්කර් සම්මානය ගැන මුදල් ඇමැති කියයි

“ද බෑන්කර්” සඟරාව මගින් ආසියා පැසිෆික් කලාපයේ හොඳ ම මුදල් අමාත්‍යවරයා ලෙස තමා තෝරා ගැනීම, රට තුළ පවත්වාගෙන යනු ලබන මූල්‍ය විනය ජාතන්තර වශයෙන් ඇගයීමට ලක් කිරීමක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම සම්මානය තමා පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණයක් නොව සමස්ත රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ මග පෙන් වීම මත, රටේ ආර්ථිකය ශක්තිමක් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වන බවත්, මෙය ද එහි තවත් එක අවස්ථාවක් බවත් රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම සම්මානය හරහා රටේ ආර්ථික ගමන් මග පිළිබඳ ගොඩනැගෙන ජාත්‍යන්තර විශ්වාසය මඟින් අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

ආසියා පැසිෆික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ රවී කරුණානායක මහතා ඒ බව කියා සිටියේ ය. සම්මාන ප්‍රදානය පසුගිය දා (24) ලන්ඩන් හි පිහිටි“ද බෑන්කර්” සඟරාවේ ප්‍රධාන මුලස්ථානයේදී පැවැත් විණි. “ද බෑන්කර්” සඟරාවේ ප්‍රධාන කර්තෘ බ්‍රයන් කැප්ලෙන් මහතා විසින් මෙම සම්මානය රවී කරුණානායක මහතා වෙත ප්‍රදානය කරන ලදී.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් මෙම සම්මානය පිරිනැමිණ. ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට ප්‍රසිද්ධ කරන මෙම සඟරාව රවී කරුණානායක මහතා මෙලෙස ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින්, එය ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකිවීම අගය කරමිනි.

රටේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වලක්වා ගැනීමට සමත් වීම සහ රටේ මුදල් සංචිත යථාතත්ත්වයට ගෙන එමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාස යළි ගොඩනැඟීමට මුදල් අමාත්‍යවරයාට හැකි වූ බවත් එම සගරාව පෙන්වා දෙයි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »